ලොව බලශක්ති මධ්‍යස්ථානය ලෙස හැදින්වෙන හෝමූස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් වසා දැමීම හේතුවෙන් ලෝක වෙළදපොළේ ඉන්ධන මිල ඉහළයාම ඇතුළු ක්‍ෂේත්‍ර කිහිපයකට බලපෑම් එල්ලවනු ඇතැයි වාර්තා වනවා.
ඒ අනුව ගෝලීයි උද්ධමනය ඉහළ ගොස් භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම, යුරෝපයේ සහ ආසියාවේ ප්‍රධාන කර්මාන්ත ශාලා අඩපණවීම ආදිය සිදුවිය හැකි බවයි ආර්ථික විද්වතුන් පවසන්නේ.
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් ලොව තෙල් සැපයුමෙන් පහෙන් එකකට බලපෑම් එල්ල වනු ඇති බවට පැවසෙනවා.
ලොව දිනකට පරිභෝජනය කරන බොරතෙල් ප්‍රමාණයෙන් සියයට 20 ක් පමණ ගමන් කරන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහායි.
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි ඝාතනයෙන් පසුව එරට ගත් දැඩි පියවර ලෙස හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමුණා.
ඉරාන සන්නද්ධ හමුදා එක්සත් ජනපදය සහ ඊශ්‍රාලය ඉලක්කවලට එරෙහිව පළිගැනීමේ ප්‍රහාර දිගටම සිදුකරමින් පවතින අතුරතුරදී ඉරානය මෙම දැඩි පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඒ අනුව හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ කරන නැව්වලට පහරදෙන බවටද ඉරානය විසින් අනතුරු අගවා තිබෙනවා.
සෞදි අරාබිය, ඉරාකය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ කුවේට් රාජ්‍යය යන රටවලින් අපනයන කරන බොරතෙල් බොහෝ රටවලට රැගෙන යාමට ඇති ප්‍රධානතම සහ එකම මුහුදු මාර්ගය හෝමුස් සමුද්‍ර සන්ධිය බවටයි පැවසෙන්නේ.
මේ අතර මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති යුදමය ගැටුම් හේතුවෙන්, අමෙරිකාවේ පෙට්‍රල් මිල ගැලුමකට ඩොලර් 3 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ, පසුගිය නොවැම්බර් මාසයෙන් පසු ප්‍රථම වතාවට බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පවතින අර්බුදය හමුවේ මෙම සතිය තුළ පෙට්‍රල් මිල ගැලුමකට ඩොලර් 3-25 දක්වා තවදුරටත් ඉහළ යා හැකි බවටයි පැවසෙන්නේ.
රියාද්හි අමෙරිකානු තානාපති කාර්යාලයට එල්ල වූ ප්‍රහාරවලට ඉතා ඉක්මනින් ප්‍රතිචාර දක්වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඩ්‍රෝන යානා දෙකක් මඟින් එම ප්‍රහාර එල්ල කර ඇති බව සෞදි අරාබියේ ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ.
එම ප්‍රහාර හමුවේ තානාපති කාර්යාලයේ ගින්නක්ද හට ගෙන තිබෙනවා
මේ අතර දකුණු බිරූට් ප්‍රදේශයයේ ඩහියා හි, අල් මනාර් රූපවාහිනිය පිහිටා ඇති ගොඩනැගිල්ලට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
අල් මනාර් රූපවාහිනිය, හිස්බුල්ලා සංවිධානයට අනුබද්ධිත දේශීය නාලිකාවක් වනවා.
මේ අතර යුදමය වාතාවරණය හමුවේ ඉකුත් ඊයේ දිනය තුළ ඉරානයේ සිවිල් වැසියන් 85දෙනෙකු පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
එමෙන්ම හමුදා නිලධාරීන් 11දෙනෙකු පමණ මියගොස් ඇති බව ද සඳහන් ලෙබනනයට සහ සිරියානු දේශසීමාවට එල්ල වී ඇති ප්‍රහාරවලින් පුද්ගලයින් 52 දෙනෙකු ද මිය ගොස් තිබෙනවා.
තවත් 154 දෙනෙකු තුවාල ලබා ඇති බවත් විශාල පිරිසක් අවතැන් වී ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.
මේ අතර යුද ගැටුම් පවතින රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට සිය ගැටළු ඉදිරිපත් කිරීම සදහා දුරකතන අංක හදුන්වා දී තිබෙනවා.
මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා.




