දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය ඉදිරි පැය 24 තුළදි අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමට හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් සියයට වැඩි තද වැසිද ඇදහැළෙනු ඇති බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතා පැවසුවේ.

දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය පිළිබඳ ධීවර සහ නාවික ප්‍රජාව ද සැලකිලිමත් විය යුතු බව ඔහු පැවසුවා.

ඇදහැළෙන මහ වැසි හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් පාලනය වන ජලාශ 14ක් මේ වන විට වාන් දමමින් පවතිනවා.

මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්‍ෂ ඉංජිනේරු එච් එම් පී එස් ඩී හේරත් මහතා.

මේ අතර නිකුත් කර තිබූ නායයෑම් අනතුරු නිවේදනය තවදුරටත් දීර්ඝ කළ ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානයේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසුවා.

ඇදහැළෙන මහ වැසි හේතුවෙන් කුරුණෑගල, අනුරාධපුර, ගාල්ල සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට වැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

ඒ අනුව එම දිස්ත්‍රික්කවල පුද්ගලයින් 583 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ.

මේ අතර උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට තවදුරටත් බලපෑම් එල්ල වී තිබෙනවා.

එම දුම්රිය මාර්ගයේ ස්ථාන 10කින් පස් කඩා වැටීම හේතුවෙන් දුම්රිය ධාවන කටයුතු අද දිනයේ යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි වනු ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ අනුව උඩරට මාර්ගයේ ධාවනය වන දුම්රිය 24ක් අවලංගු කර තිබෙනවා.

බදුල්ල -කොළඹ රාත්‍රී තැපැල් දුම්රියද ඒ අතරට අයත්.

කෙසේවෙතත් කොළඹ සිට බදුල්ල දක්වා ධාවනයට නියමිතව තිබූ දුම්රිය 07ක් මහනුවර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.