අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින පාතාල කල්ලි නායකයෙකු බව කියන කෙහෙල් බද්දර පද්මේ නැමැත්තා රඳවා ගැනීම සඳහා ආරක්ෂක ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඔහුගේ මව විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර එහි වග උතරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. පෙත්සම්කාරිය කියා සිටින්නේ තම පුත්‍රයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවා ගැනීම සඳහා නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය නීතියට පටහැනි බවයි. එමෙන්ම තම පුත්‍රයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිටතට රැගෙන යාම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසත්, එම පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා. එම පෙත්සම අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී එය සලකා බැලීම සඳහා ලබන 23 වනදා කැඳවීමට නියම වුණා. එතෙක් සැකකරු වෙනස් ස්ථානයකට රැගෙන යාමට කටයුතු නොකරන බවටත් රජය නීතිඥවරයා විසින් අධිකරණයට දැනුම් දී තිබෙනවා.