අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස අල්ලස් කොමිසම අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉල්ලීමක් කළා.

මෙම ඉල්ලීම කරනු ලැබුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා ඉදිරියේයි.

රාජිත සේනාරත්න මහතා අල්ලස් කොමිසමට පැමිණ විමර්ශනවලට සහාය දැක්වීම මඟහරිමින් සිටින බැවින් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙසයි එම කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

එවැනි නියෝගයක් නිකුත් කිරීම සඳහා එම විමර්ශනයට අදාළ වාර්තා අධිකරණයට අවශ්‍ය බැවින් අදාළ වාර්තා පරීක්ෂා කිරීමකින් තොරව නියෝගයක් නිකුත් කිරීමට නොහැකි බව මහේස්ත්‍රාත්වරයා එහිදී පෙන්වා දුන්නා.

මහේස්ත්‍රත්වරයා සඳහන් කළේ අල්ලස් කොමිසමට රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා නීතිමය බාධාවක් නොමැති බවයි.

කෙසේවෙතත් ඉදිරියේදී එම ඉල්ලීම ලේඛන සහිතව අධිකරණයට ඉදිරිපත් කරන බව අල්ලස් කොමිසමේ නිලධාරීන් එහිදී සඳහන් කළා.

රාජිත සේනාරත්න මහතා 15 වනදා  අල්ලස් හෝ දුෂණ කොම්සම ඉදිරියේ පෙනී සිටීමට නියමිතයි.