Published
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ඇති සියලුම තනතුරු සඳහා කාන්තාවන් බදවා ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ දුම්රිය ස්ථානාධිපති තනතුරු සදහා කාන්තාවන්ට අයදුම් කිරීම අවහිර කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනයක් අභියෝගයට ලක් කරමින් කාන්තාවන් දෙදෙනෙක් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැදවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය මෙම දැනුම් දීම සිදුකළා.
මෙම පෙත්සම අද ජනක් ද සිල්වා, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නයනතාරා බාලපටබැදි මහත්මිය අධිකරණයට දැනුම් දුන්නේ පසුගිය නොවැම්බර් 3 වනදා රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සියලුම තනතුරු සඳහා කාන්තාවන් බදවා ගැනීමට අවසරය ලබා දුන් බව සඳහන් කළා.
එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ මහතා අධිකරණයට දැනුම් දුන්නේ පෙත්සම්කරුවන් ඉල්ලා සිටි සහනය මේ වන විට ලැබී තිබෙන බැවින් මෙම පෙත්සම් විභාගය අවසන් කිරීමට ඔවුන් එකගතාවය පළ කරන බවයි.
ඒ අනුව පෙත්සම් විභාගය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.
මෙම පෙත්සම ගොනු කර තිබුණේ අයේෂානි ජයවර්ධන සහ සුරේෂ් විදුෂා යන අය විසින්.
එහි වග උත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු පිරිසන් නම්කර තිබුණා.
මෑතකදී දුම්රිය ස්ථානාධිපතිවරුන් බඳවා ගැනීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනය තුළින් පිරිමි අයදුම්කරුවන්ට පමණක් එම තනතුරු සදහා අයදුම් කළ හැකි බවට ප්රතිපාදනයක් ඇතුළත් කර තිබූ බව පෙත්සම්කරුවන් සදහන් කළා.
මේ තුළින් කාන්තාවන්ට එම තනතුරු සදහා අයදුම් කිරීමට තිබූ අවස්ථාව අහිමි කර ඇති බවත් ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඉල්ලා ඔවුන් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.




