හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන අරුන්දික ප්‍රනාන්දු මහතා අද පෙරවරුවේ පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණියා.

ඒ, එම කාර්යාංශය කළ දැනුම්දීමකට අනුව ප්‍රකාශයක් ලබාදීම සදහායි.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන පසුගියදා ඩුබායි සිට දිවයිනට රැගෙන ආ ශිරාන් බාසික් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගෙන් එලෙස ප්‍රකාශ සටහන් කර ගන්නා බවයි වාර්තා වුණේ.

මේ අතර දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග මහතාගෙන් ද පොලිසිය පසුගියදා පැය හතරකට වැඩි කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තා.

ඒ, ශිරාන් බාසික් නමැත්තා සමග පැවැත්වූ බව කියන සම්බන්ධතා පිළිබඳවයි.

ශිරාන් බාසික් නමැත්තා ඩුබායිහිදී අත්අඩංගුවට ගැනුණු අතර ඉකුත්දා මෙරටට රැගෙන ආවා.

ඔහුගෙන් කල ප්‍රශ්න කිරීම්වලදී ඔහු සමග සම්බන්ධතාව පැවැත් වූ කිහිප දෙනෙකු පිළිබඳව පොලිසිය අනාවරණ කර ගෙන තිබෙනවා.