පාර්ශව රැසක කැපවීම හේතුවෙන් දිට්වා සුළි කුණාටුවෙන් පසු යළි සුරක්‍ෂිත සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවට යළි ස්ථාපිත වීමට හැකි වී ඇති බව ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය පවසනවා.

එම අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා පැවසුවේ දෙසැම්බර් මාසයේදී විශාල සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණීම මගින් එය තහවුරු චවන බවයි.

එමගින් ඉතිහාසයේ වැඩිම සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණි වසර ලෙස මෙම වර්ෂය වාර්තා අතරට එක්වූ බවයි ඔහු පෙන්වා දුන්නේ.

විදේශීය සංචාරකයින් වැඩිම පිරිසක් මෙරටට පැමිණි වර්ෂය ලෙස 2025 වර්ෂය වාර්තා අතරට එක්වුණේ ඊයේ දිනයේදීයි.

මීට පෙර ඉතිහාසයේ එක් වසරක් තුළ වැඩිම විදේශීය සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණි වසර ලෙස වාර්තා අතරට එක්ව තිබුණේ 2018 වසරයි.

එම වසරේදී සංචාරකයින් විසි තුන් ලක්ෂ තිස් තුන් දහස් හත්සිය අනූ හය දෙනෙකු මෙරටට පැමිණ තිබුණා.

එම වාර්තාව බිඳ දමමින් මෙම වසරේ මෙරටට පැමිණි විසි තුන් ලක්ෂ තිස් තුන් දහස් හත්සිය අනූ හත් වන සංචාරකයා ලෙස දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පදිංචි, එරට විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු වූ ෆීලික්ස් බෙස්ලින් පෙරේරා ඊයේ උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙම වසර අවසාන වන විට මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් ගණන විසි දෙලක්ෂ 36,000 ඉක්මවනු ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.