ආපදාවෙන් බලපෑමට ලක්වූවන් සවිබල ගැන්වීමේ වැඩසටහන කාර්යක්‍ෂමව හා ඵලදායීව ක්‍රියාත්මක කිරීමට නව එකතු කිරීම්, පැහැදිලි කිරීම් හා සංශෝධන ඇතුළත් නව චක්‍රලේකයක් නිකුත් කර තිබෙනවා.

ඒ, වැඩබලන භාණ්ඩාගාර ලේකම් ඒ. එන්. හපුගල මහතා විසින්.

නායයෑම් සහ ගංවතුර හේතුවෙන් නිවාස අහිමි වූ හෝ ස්ථිර ජීවනෝපාය කටයුතුවල නිරත වීමට නොහැකි පවුල් වෙත දීමනා ලබා දෙන ආකාරය වගා හානි සහ ධීවරයින්ට දීමනා ලබා දෙන ආකාරය සම්බන්ධයෙන් සවිස්තරාත්මක තොරතුරු එම චක්‍රලේඛයට ඇතුළත් කර තිබෙනවා.

ඒ අනුව නායයෑම් සහ ගංවතුර හේතුවෙන් තම පදිංචි නිවස අහිමිව හෝ නිවස පූර්ණ ලෙස හානි වීම හේතුවෙන් තම ස්ථිර ජීවනෝපාය කටයුතුවල අඛණ්ඩව නිරත වීමට නොහැකි පවුල් වෙත උපරිමය මාස තුනක කාලයක් සඳහා ගෙවනු ලබන මාසික දීමනාව කාණ්ඩ දෙකක් යටතේ ලබා දීමට නියමිතයි.

සාමාජිකයන් දෙකක් හෝ ඊට අඩු පවුලක් සඳහා රුපියල් විසි පන්දහසක මාසික දීමනාවක් ඒ යටතේ හිමි වන අතර සාමාජිකයන් දෙදෙනෙකුට වැඩි පවුලක් සඳහා රුපියල් පනස් දහසක දීමනාවක් හිමි වනවා.

ආපදා බලපෑම හේතුවෙන් පූර්ණ වශයෙන් හානි වී ඇති හෝ නාය යෑමේ අවදානම් තත්ත්වය හේතුවෙන් පදිංචිවීමට නොහැකි බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් තහවුරු කර ඇති නිවාස සඳහා නව නිවසක් ඉදි කර ගැනීමට රුපියල් පනස් ලක්ෂයක දීමනාවක් ඒ යටතේ හිමි වනවා.

ආපදා බලපෑම හේතුවෙන් අර්ධ වශයෙන් හානි වූ නිවාස පිළිසකර කර ගැනීම සඳහා රුපියල් විසි පන් ලක්ෂයක් සඳහා වූ දීමනාව කාණ්ඩ දෙකක් යටතේ ලබාදීමට නියමිතයි.

ඊට අනුව හානි තක්සේරුවකින් තොරව වන්දි ලබා ගැනිමට කැමැත්ත ප්‍රකාහ කරන එක් නිවාස හිමියෙකුට රුපියල් ලක්ෂ පහක දීමනාවක් සිදු වනවා.

හානි තක්සේරුවකින් පසුව වන්දි ලබාගැනීමට කැමැත්ත ප්‍රකාශ කරන නිවාස හිමියෙකුට තක්සේරුගත වටිනාකම මත රුපියල් විසිපන් ලක්ෂයට උපරිම වන්දි මුදලක් ලබා ගත හැකි බවයි අදාළ චක්‍රලේඛයේ සඳහන් වන්නේ.