Published
ඉන්දීය අගමැති නරේද්‍ර මෝදි මහතාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස මෙරටට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සමග අද(23) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවී කල මාධ්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් විජිත හේරත් මහතාගේ මුහුණු පොතේ පල කල අදහස් පහතින් දැක්වේ.
ඉන්දීය අගමැති නරේද්‍ර මෝදි මහතාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස මෙරටට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සමග අද (23) පෙරවරුවේ ජනාධිපතිතුමා හමුවීමෙන් අනතුරුව මා සමඟ ඒකාබද්ධ මාධ්‍ය ප්‍රකාශයකට එක් වූවේ ය. එහිදී මා සිදු කළ ප්‍රකාශය.
ආයුබෝවන්!
ගරු ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මැතිතුමනි,
ඉන්දීය මහ කොමසාරිස් අතිගරු සන්තෝෂ් ජා මැතිතුමනි,
ඉන්දීය සහ ශ්‍රී ලංකා නියෝජිතයිනි,
මාධ්‍ය සගයිනි,
ප්‍රථමයෙන්ම, ආචාර්ය ජයශංකර් මැතිතුමන්ව, මා සතුටින් නැවත වරක් කොළඹදී පිළිගනු ලබනවා.
‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වයන්ගෙන් පසුව, ඉන්දියාව, ශ්‍රී ලංකාව වෙත දක්වන ස්ථිරසාර සහයෝගීතාව අවධාරණය කරන්නක් ලෙස, ආචාර්ය ජයශංකර් මැතිතුමාගේ මෙම සංචාරය අප බෙහෙවින් අගය කරනවා. මෙම සංචාරය අපගේ දෙරට අතර සමීප මිත්‍රත්වය සහ දිගුකාලීන හවුල්කාරිත්වය මෙන්ම, “සාගර් බන්ධු” මෙහෙයුම කාලෝචිත ලෙස දියත් කිරීම හරහා පළමුව ප්‍රතිචාර දැක්වු රාජ්‍යයක් ලෙස ඉන්දියාවේ භූමිකාව පිළිබඳ ප්‍රබල පිළිබිඹුවක් වෙනවා.
ශ්‍රී ලංකාව මුහුණදුන් ආර්ථික අභියෝග ජය ගැනීමට සහාය වීම සඳහා ඉන්දියාව විසින් මෙරටට ලබා දුන් වටිනා සහයෝගය වෙනුවෙන්, ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන්, ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන්, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමන්ට, ඉන්දීය රජයට සහ ආචාර්ය ජයශංකර් මැතිතුමනි, ඔබතුමන්ට, අපගේ හෘදයාංගම කෘතඥතාව පළ කරනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ හා ඛනිජ තෙල් ආනයනය, ද්විපාර්ශ්වික මුදල් ඒකක හුවමාරුව සහ වගකීම් සම්බන්ධයෙන් සහන කාලයක් ලබා ගැනීම සඳහා ඉන්දීය රජය විසින් ලබා දුන් ඇමරිකානු ඩොලර් බිලියන 4ක ණය ප්රදානය අප කෘතඥතාවයෙන් යුතුව සිහිපත් කරනවා.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව, භූගෝලීය සමීපතාව, ගැඹුරු ඓතිහාසික හා සංස්කෘතික සබඳතා, බෙදාගත් වටිනාකම් සහ පුළුල් වන ආර්ථික සම්බන්ධතා තුළ මුල් බැස ඇති දිගුකාලීන හා බහු-ආංශික සම්බන්ධතාවයකට හිමිකම් කියනවා. නිතිපතා සිදුවන ඉහළ මට්ටමේ ක්‍රියාකාරකම් සහ දේශපාලනික, නිල මට්ටමේ සහ ජනතා සබඳතා දක්වා දිවෙන සමීප සම්බන්ධතා හරහා අපගේ ද්විපාර්ශ්වික කටයුතු වඩාත් ශක්තිමත් වෙමින් පවතිනවා.
මේ සම්බන්ධයෙන්, හදිසි මූල්‍යකරණය සහ විදේශ විනිමය සහාය ඇතුළුව බහුවිධ ආධාර මෙන්ම, පවතින ණය ආධාරයන් යටතේ නිම කර ඇති ව්‍යාපෘති සඳහා වන ගෙවීම් පියවීමට ප්රදානය කරන ලද ඇමරිකානු ඩොලර් මිලියන 20.66ක් ඇතුළුව, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ඉන්දියාව අඛණ්ඩව ලබා දෙන සහයෝගය අප බෙහෙවින් අගය කරනවා. සාකච්ඡා කාලෝචිත ලෙස අවසන් කිරීමට හැකි වූ, නිල ණයහිමියන්ගේ කමිටුවේ සම-සභාපතිත්වය ඇතුළුව, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී, ඉන්දියාවේ තීරණාත්මක කාර්යභාරය ද අප අවංකවම අගය කරනවා.
මාධ්‍ය සගයිනි,
අද උදෑසන, ආචාර්ය ජයශංකර් මැතිතුමා, අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන් හමුවූ අතර, ආර්ථික සංවර්ධනය, බලශක්ති ආරක්ෂණය, සම්බන්ධතාවය, වෙළඳාම සහ ආයෝජන, සෞඛ්‍ය, අධ්‍යාපනය, සමුද්‍රීය ආරක්ෂණය, ඩිජිටල් සහයෝගීතාව, සංචාරක ව්‍යාපාරය සහ ජනතා සබඳතා ඇතුළු ප්‍රධාන ක්ෂේත්රවල, ඉන්දීය-ශ්‍රී ලංකා සහයෝගීතාවයේ පුළුල් ගමන් පථය කෙරෙහි අවධානය යොමු කළ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුනා. අපගේ කලාපයේ දේශගුණික ආශ්රිත තත්ත්වයන්වල ඉහළ යන බලපෑම හඳුනා ගනිමින්, ආපදා සූදානම සහ ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ සහයෝගීතාව වැඩි දියුණු කිරීම පිළිබඳ අදහස් ද හුවමාරු වුනා.
ආචාර්ය ජයශංකර් මැතිතුමන් සමඟ පැවති හමුවේදී, අතිගරු ජනාධිපති දිසානායක මැතිතුමන්, මහා පරිමාණ ආපදා සහන සැපයුම්, හදිසි වෛද්‍ය ආධාර, සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා සහාය, සම්බන්ධතාවය යථා තත්ත්වයට පත් කිරීම සහ තීරණාත්මක යටිතල පහසුකම් නැවත ගොඩනැගීම සඳහා දැක්වූ සහාය ඇතුළුව, ඉන්දියාවේ කඩිනම් සහ පුළුල් මානුෂීය සහයෝගය වෙනුවෙන් සිය අවංක කෘතඥතාව පළ කළා. මෙම කාලෝචිත මැදිහත් වීම, බලපෑමට ලක් වූ ප්‍රජාවන්ට බෙහෙවින් උපකාර වී ඇති අතර අපගේ ජාතික ආපදා සහන කටයුතු සඳහා එය ඉතා අගනා දායකත්වයක් ලබා දී තිබෙනවා.
ඔබ දන්නා පරිදි, ඉන්දියාව විසින් සහනාධාර ද්‍රව්‍ය ටොන් 1,000කට වඩා ලබා දුන් අතර ඒවා කඩිනමින් බලපෑමට ලක් වූ ප්‍රජාවන් අතර බෙදා දී තිබෙනවා.
මහියංගනයෙහි පිහිටුවන ලද ඉන්දීය හමුදා පැරෂුට් ක්ෂේත්‍ර රෝහල (The Indian Army Para Field Hospital) මගින් බලපෑමට ලක් වූ ප්‍රජාවන්ට තීරණාත්මක සෞඛ්‍ය සේවා සැපයූ අතර, ඉන්දීය හමුදා සංඥාකරුවන් විසින්, සුළි කුණාටු ආශ්රිත බාධාවන්ට ලක්ව තිබූ සම්බන්ධතාවන් සාර්ථකව යථා තත්ත්වයට පත් කිරීමට සමත් වූවා. තීරණාත්මක අවස්ථාවක අපගේ හදිසි සෞඛ්‍ය සේවා ප්‍රතිචාර දැක්වීම් ශක්තිමත් කරමින්, ඉන්දියාව ආසන්න වශයෙන් හදිසි ඖෂධ ටොන් 10ක් පමණ ද පිරිනැමුවා.
ජනාධිපති දිසානායක මැතිතුමන්, අගමැති මෝදි මැතිතුමන්ගෙන් කළ ඉල්ලීමකට අනුව, කාණ්ඩ හතරක් යටතේ ටොන් 228ක බේලි පාලම් ඒකක සැපයීම සම්බන්ධයෙන් ද අපගේ කෘතඥතාවයෙන් යුතුව අගය කරනවා. මෙම ප්රදානය මගින් අත්‍යවශ්‍ය ප්‍රවාහන සම්බන්ධතා කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට හැකි වුනා. සම්බන්ධතාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා වැදගත් දායකත්වයක් සපයන කිලිනොච්චියේ ස්ථාපනය කරන ලද බේලි පාලම, අද උදෑසන, ජනාධිපති දිසානායක මැතිතුමන් හමුවේදී, ආචාර්ය ජයශංකර් මැතිතුමන් සහ මා විසින්, මාර්ගගත ලෙස විවෘත කරනු ලැබුවා.
මාධ්‍ය සගයිනි,
අපගේ ප්‍රතිසාධන සහ නැවත ගොඩනැගීමේ උත්සාහයන්ට අර්ථවත් සහයෝගයක් ලබා දෙන තවත් සහන ප්‍රදානයක් ප්‍රකාශයට පත් කිරීමට ආචාර්ය ජයශංකර් මැතිතුමන් බලාපොරොත්තු වන බැවින්, අද දින එතුමාගේ මෙම ශ්‍රී ලංකා සංචාරය විශේෂයෙන් වැදගත් වෙනවා. මෙම ප්රදානය තුළින් ඉන්දියාව නැවතත් දෙරටේ දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව පෙන්නුම් කර තිබෙනවා. අප, අගමැති මෝදි මැතිතුමන්ට, ආචාර්ය ජයශංකර් මැතිතුමන්ට සහ ඉන්දීය ජනතාවට බෙහෙවින් කෘතඥ වෙනවා.
ආචාර්ය ජයශංකර් මැතිතුමන් දන්නා පරිදි, දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ සංචාරක අංශය යථා තත්ත්වයට පත්ව ඇති අතර, සියලුම සංචාරක ආකර්ෂණීය ස්ථාන දැන් සම්පූර්ණයෙන්ම විවෘතව පවතිනවා. ශ්‍රී ලංකාවේ විශාලතම සංචාරක ප්රභවය ඉන්දියාව වන අතර, ආචාර්ය ජයශංකර් මැතිතුමනි, ඔබතුමන්ගෙන් ලැබෙන ධනාත්මක පණිවිඩය එම සංචාරකයින්ගේ විශ්වාසය ඉහළ නංවනු ඇති අතර, අඛණ්ඩ සංචාර දිරිමත් කරනු ඇතැයි අප විශ්වාස කරනවා.
ආචාර්ය ජයශංකර් මැතිතුමනි, ඔබතුමන්ගේ මෙම සංචාරය සහ ඉන්දීය රජය සහ ජනතාව, ශ්‍රී ලංකාවට ලබා දුන් ස්ථිරසාර සහයෝගය වෙනුවෙන් මා නැවත වරක් ඔබතුමන්ට ස්තූතිවන්ත වෙනවා.
මා දැන්, ගරු ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මැතිතුමන්ට මාධ්‍ය ඇමතීමට ආරාධනා කරනවා.
ස්තූතියි!





