අද වන විට ජාතික වශයෙන් උද්ගත වී ඇති ප්‍රධාන ගැටලු තුළ සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය වූයේ සත්ජාතිකත්වය බවත් සියලු ආගම් ජාතින් එකට එකතු වී වැඩ කිරීම හරහා උත්තරීතර නීතිය සෛරීත්වය ඒකීයභාවය සාක්ෂාත් වන බවත් රටේ උත්තරීතර නීතිය තුළ බුදුදුහමට සුවිශේෂ ස්ථානයක් ඇති බවත් බුදුදහම පෝෂණය කර ආරක්ෂා කරනවා සේම සෙසු ආගම්වලට නිශ්චිත ස්ථාවරය ලබා දී වටිනාකම් දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පවසනවා
මේ ගැන කියද්දි වැඩ බැරි අන්තවාදීන් කයිවාරුකාරයන් රටට අගයක් එකතු කරන්න බැරි අය ගිණි අවුලවන්න උත්සාහ කරන බවත් එය ඔවුන්ගේ දේශපාලනය වුවත් එය වැරදි බවත් රණසිංහ ප්‍රේමදාස මහතා බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ අරමුදලක් ඇති කර බුදුදහමට මුල් තැන දෙමින් සෙසු ආගම්වලට වෙන්වු රාජ්‍ය අමාත්‍යාංශ හැදුවත් අද ඒ කිසිවක් නොමැති බවත් ඒ කාලයෙන් පසුව මේ ක්‍රමවේද වෙනස් වුවත් නැවත වරක් අප ඒ තැනට යා යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද ගාල්ල උඩලමත්ත බණ්ඩාරනායකපුර ශ්‍රී බෝධිරාජාරාමය සහ ශ්‍රී විවේකාරාමය උභය විහාරාධිපති පනංගල ගංගාරාම මහා පිරිවෙනෙහි ආචාර්ය ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ ගාලු ප්‍රදේශිය සංඝ සභාවේ පාටිපත්ති සංවර්ධන ලේකම් සහ නාගොඩ සමථ මූල මණ්ඩලයේ සභික සියම් ගෞරව සම්මානලාභී මහා පණ්ඩිත ත්‍රිපිටකාචාර්ය ශාස්ත්‍රපති ශාස්ත්‍රවේදී අධ්‍යාපනඥ පූජ්‍ය නාගොඩ ධීරානන්ද හිමියන් මෙම විහාරස්ථානයට වැඩමකර වසර 20ක් සැපිරීම නිමිති කර ගෙන පැවැති විශේෂ උත්සවයකට එක්වෙමින්.
රටක් ලෙස එක්සේසත් වුවහොත් ජාතික ආරක්ෂාව තහවුරු වන බවත් අද ඇත්තේ ඛේදවාචකයක් බවත් පොලිසියට ඉහළ බලවතුන්ගේ උපදෙස් පරිදි මහ රැ පන්සල්වලට ගොස් බුදු පිළිම ඉවත් කරන්නත් නැවත ගෙනත් දමන්නත් සිදුව ඇති බවත් මෙවැනි ගැටලු ඇති වු පසු උත්තරීතර ආගමික නායකයන් හමු වි සාකච්ඡා කළා නම් මෙවැනි ගැටුම් ඇති නොවන බවත් මේ අයට වැඩක් කර පුරුදු හෝ අත්දැකීම් නොමැති නිසා අවසානයේ ගැටුමක් ඇති වූ බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
ත්‍රීකුණාමලයේ සිදුවු සිදුවීමට මහජන නියෝජිතයකු ලෙස තමා සමාව ඉල්ලන බවත් රජයට එවැනි දේකට කොන්දක් නැති වුවත් විපක්ෂය ලෙස ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් සමාව ඉල්ලන බවත් අවංකවම බෞද්ධයකු වන තමා මැතිවරණය තුරුම්පුවලට ගෞරවනීය ස්වාමීන් වහන්සේලා යොදා නොගන්නා නිසා ප්‍රායෝගික බෞද්ධයකු ලෙස සෑම ආගමකටම ගරු කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
මහජන නියෝජිතයකු යම්කිසි සංචාරයක් ක්‍රියාත්මක කරන විට ඒ තුළ අගය එකතු කිරීමක් සිදුවිය යුතු බවත් තමා ඇතුළු සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවේ කතා කරන්නේ රටට අගයක් එකතු කිරීමට බවත් තමා විශ්වාස කරන පරිදි විහාරස්ථාන හරහා ආගමික ඉගැන්වීම සිදුකර ශිෂ්ටසම්පන්න දරු පරපුරක් නිර්මාණය කරනවා සේම තොරතුරු තාක්ෂණය මත පදනම් වූ ඉගැන්වීම ද සිදු කළ හැකි බවත් මේ වන විට දහම් පාසල්වලට තරුණයන් දරුවන් සම්බන්ධ වීම අඩු නිසා ඔවුන් ආකර්ෂණය කර ගැනීමට ආගමික සිද්ධස්ථාන හරහා නව තාක්ෂණය ඉගැන්වීමේ කේන්ද්‍රස්ථාන බවට පත් කළ යුතු බවත් ඊට අමතරව චීන හින්දි ජපන් ඉංග්‍රීසි වැනි භාෂා ඉගෙන සුහුරු පුරවැසියා බිහි කරන ගමන ආරම්භ කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
තාක්ෂණය ළං කර ගත්තේ නැති වුවහොත් ලෝකයේ සෙසු රටවල එම තාක්ෂණය උපයෝගී කර ගෙන අප පසු කර ගොස් ශීඝ්‍ර සංවර්ධනයක් අත් කර ගන්නා විට අපට ලිංමැඩියන් සේ සිටිමට සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.




