සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ”නිදහසේ පාද යාත්‍රාව” අද උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අභියයසින් ගමන් ආරම්භ වුණා.
ඒ, ආගමික වතාවල නිරතවීමෙන් අනතුරුවයි.
කොළඹ බලා පැමිණෙන මෙම පාද යාත්‍රාව සංවිධාන කර ඇත්තේ භික්ෂු සංවිධාන සහ ගිහි සංවිධාන කිහිපයක එකතුවෙන්.
එම පාද යාත්‍රාව ගමන් ආරම්භ කිරීමට පෙර පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් පළ කළා.
"එදා වාරියපොළ හාමුදුරුවෝ හිරබත් කෑවේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන්, මේ රට වෙනුවෙන්, මේ ජාතිය වෙනුවෙන්. අපේ ඥානසාර හාමුදුරුවෝ අද සිරගත වෙලා ඉන්නේ උන්වහන්සේගේ පෞද්ගලික දෙයක් වෙනුවෙන් නෙවෙයි. එදා වාරියපොළ හාමුදුරුවෝ අභීතව නැඟුවාවූ ඒ හඬම වර්තමානය තුළ අප වෙනුවෙන්, රට වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් හඬනඟන්නට ගිහිල්ලා ජාතියේ නිදහස, දැයේ නිදහස, සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස. ඒ නිසා අපි උන්වහන්සේ තනි නොකොට අපි උන්වහන්සේ වෙනුවෙන් අද දළදා හාමුදුරුවන් වහන්සේ ඉදිරියේ අලුයම් කාලයේ සිට සපථ කළා, අධිෂ්ඨාන කළා, ඒ රටේ නිදහස, සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය, අපේ ගෞරවනීය ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ නිදහස. ඒ නිසා උන්වහන්සේගේ නිදහස කියලා කියන්නේ රටේ නිදහස, අපේ නිදහස. උන්වහන්සේ අප වෙනුවෙන් හිරබත් කනවා නම්, හිරගත වුණා නම්, අපි උන්වහන්සේ තනි නොකොට උන්වහන්සේ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිය යුතුයි. ඒ නිසා මේ අධිෂ්ඨානය අපි අද මෙතැනින් නවතින්නේ නැහැ. මෙතැනින් මේ දළදා හාමුදුරුවන් වහන්සේට සපථ කොට, වාරියපොළ සුමංගල හාමුදුරුවන්ගේ ප්‍රතිමාව අභියස ඒ අභීතබව අපි පසක් කරමින්, සපථ කරගනිමින්, ඥානසාර හාමුදුරුවන්ගේ නිදහස වෙනුවෙන්ම අපි මේ අධිෂ්ඨානය තවත් සපථ කරන්නට පාගමනින් අපි මේ අධිෂ්ඨානය අරන් ඥානසාර හාමුදුරුවන් වහන්සේ සිරගත කර සිටින තැන දක්වා අපි පාගමනින් ගමන් කොට දළදා හාමුදුරුවන්ගෙන් අශීර්වාදය, මේ වාරියපොළ සුමංගල හාමුදුරුවන්ගෙන් ඒ ගත්තාවූ අභීතබව අරගෙන අපි උන්වහන්සේගේ නිදහස උදෙසා අපි මේ මොහොතේ සිට ගමන් කරන බවත්, නිදහස ලබාදෙන තුරු අපි දිවිහිමියෙන් අපිත් සිරගත කළත්, අපිට ජම්පරය ඇන්දුවත්, අපි මේ සටන අත්නොහැර උන්වහන්සේ සමඟ, උන්වහන්සේගේ නිදහස වෙනුවෙන් සටන් වදින බව සපථ කොට අපි කියා සිටිමින්..."
එම පාගම සහ තවත් ස්වාමීන් වහන්සේ පිරිසක් ආරම්භ කළ අධිෂ්ඨාන පූජාව සම්බන්ධයෙන් නෙත් නිවුස් නියෝජිත කමල් සුරවීර අදහස් පළ කළා.
"ආයුබෝවන්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර නායක ස්වාමීන් වහන්සේට සිදුව ඇති අසාධාරණය, උන්වහන්සේගේ චීවරය ඉවත් කොට ගිහි ඇඳුමින් අධිකරණය හමුවට පැමිණීම සම්බන්ධයෙන් මේ වන විට මහනුවර ශ්‍රී දළදා මාලිගාව අසලින් ආරම්භ කළ පාගමන ගිහි පැවිදි විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පේරාදෙණිය නගරය මේ වන විට පසු කළා. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ සඳහා ස්වාමීන් වහන්සේලා විශාල පිරිසක් එක්ව සිටිනවා. ඒ වගේම ගිහි පිරිසකුත් එක්ව සිටිනවා. තවත් විශේෂ දෙයක් නම් කියන්න තියෙන්නේ මේ අවස්ථාවේ උඩුනුවර සංඝ සභාව විසින් ඒකාබද්ධව ඇවිල්මීගම නගරයේ සිට පිළිමතලාව නගරයට භික්ෂූන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් තවත් පාගමනක් ආරම්භ කරා. ඒ පාගමනටත් විශාල භික්ෂූන් වහන්සේලා පිරිසක් එක්ව සිටිනවා. මෙකී භික්ෂූන් වහන්සේලා මේ වන විට පිළිමතලාව බෝධින් වහන්සේ අසල අධිෂ්ඨාන පූජාවක නිරත වන ආකාරයක් දැකගන්න ලැබෙනවා. ගලගොඩඅත්තේ හිමියන්ට සහනයක් පතා, ඒ වගේම උන්වහන්සේ සම්බන්ධයෙන් යම්කිසි ආකාරයකින් සහනයක්, ඒ වගේම සාධාරණයක් සිද්ධ වෙන්න කියලා ඉල්ලමින් තමයි මේ අධිෂ්ඨාන පූජාව සිද්ධ කරන්නේ.''







