අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත් හිටපු අමාත්‍ය සී.බී.රත්නායක මහතා ලබන 16 වන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2015 වසරේ මාර්තු මස ලැබුණු නිර්නමික පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කළ බව පැවසුවා
2011 වසරේ මාර්තු 31 සහ 2013 මාර්තු මස 31 වනදා අතර කාලසීමාව තුළ සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් ලක්ෂ 573 කට අධික වත්කම් අයථා ලෙස අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් එහිදී කරුණු අනාවරණය වූ බවත් එම වත්කම් අත්පත් කරගත් ආකාරය නිශ්චිතව පැහැදිලි කිරීමට සැකකරු කටයුතු කර නොමැති බවත් එම නිලධාරියා සඳහන් කළා.
ඔහුගේ මියගිය සහෝදරයෙකු විසින් රුපියල් කෝටියක මුදලක් ලබා දුන් බව මෙම සැකකරු විසින් ප්‍රකාශ කර ඇති අතර තවත් හිතවතෙකු විසින් රුපියල් කෝටියක මුදලක් ලබා දුන් බව ප්‍රකාශ කර ඇතැයි කී අල්ලස් කොමිසමේ නිලධාරියා ඊට අමතරව තමන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ලැබුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය විකුණා මුදල් ලබාගත් බව ඔහු විසින් ප්‍රකාශ කර ඇතැයිද කියා සිටියා.
මෙම සිද්ධියට අදාළව සැකකරුගේ ලඟම ඥාතීන් ඇතුළු පාර්ශව කිහිපයකින් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇති බවත් මෙම අවස්ථාවේදී මොහු ඇප මත මුදා හරිනු ලැබුවොත් මොහුට සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට අවකාශ තිබෙන බවත් අල්ලස් කොමිසමේ නිලධාරියා පැවසුවා.
ඒ අනුව මෙම අවස්ථාවේදී සැකකරු ඇප මත මුදාහරිනු ලැබුවොත් සාක්ෂි වලට බලපෑම් කිරීමට අවකාශ තිබෙන හෙයින් මොහු රක්ෂිත බන්ධනාකාර ගත කරන ලෙසත් අල්ලස් කොමිසමේ නිලධාරියා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ තිෂ්‍ය වේරගොඩ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු මෙම විමර්ශනයට අදාළව සියලු සහාය අල්ලස් කොමිසමට ලබාදී තිබෙන බව කියා සිටියා.
ඉල්ලා සිටි ලේඛන සියල්ල ද අල්ලස් කොමිසමට ලබා දී ඇතැයි සඳහන් කළ නීතිඥවරයා මෙය වසර දහයකට වඩා පැරණි විමර්ශනයක් බවත් ඔහු මේ දක්වා කිසිදු සාක්ෂිකරුවෙකුට බලපෑම් කළ බවට තොරතුරු ඉදිරිපත් වී නොමැති බවත් සඳහන් කළා.
මොහු දේශපාලකයකු වන අතර  වලපනේ ප්‍රදේශයේ මොහුගේ ඡන්ද දායකයින් වත්මන් ආපදා තත්වය හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටින බවත්
ඔවුන්ට සහන සැලසීමට යාමට ඔහුට අවස්ථාව තිබිය යුතු බවත් නීතිඥවරයා සඳහන් කළා.
ඒ අනුව සැකකරු ඇප මත මුදාහරිණ ලෙසයි නීතිඥවරයා  අධිකරණය ඉල්ලා සිටියේ.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ වාර්තාව පිරික්සීමේදී මෙම විමර්ශනයේ මුල් අවස්ථාවේදී ලබාදුන් තොරතුරු වලට වඩා මේ අවස්ථාවේදී මොහු විසින් ප්‍රකාශයට පත් නොකළ වත්කම් පිළිබඳ තොරතුරු එම කොමිසම විසින් වර්තමානයේ සොයාගෙන තිබෙන බවට කරුණු දක්වා ඇතැයි පැවසුවා.
මෙම සැකකරු මුල් අවස්ථාවේදීම එම වත්කම් පිළිබඳ තොරතුරු ප්‍රකාශ නොකිරීම තුළින් ඔහු ඇපමත මුදා හර ලැබුවොත් සාක්ෂිකරුවන්ට බලපෑම් නොකර සිටිනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බවත්  ඒ අනුව ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර සැකකරු ලබන 16 වන්දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන බවත් නියම කළා.