කොළඹ සිට කන්කසන්තුරේ දක්වා යාල්දේවී දුම්රිය යළි ධාවනය අද සිට ආරම්භ වුණා.

ඒ අනුව යාල්දේවී දුම්රිය සදුදා, බදාදා සහ සිකුරාදා දිනවල කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ධාවනය කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

කොළඹ කොටුවෙන් යාල්දේවී ගමන් ආරම්භ කරන්නේ උදෑසන හයයි හතලිහටයි.

අනුරාධපුරයට පෙරවරු 10.50ටත්, වව්නියාවට පෙරවරු 11.35 ටත් යාපනයට පස්වරු 2.10 ටත් ළගාවීමට නියමිත යාල්දේවී දුම්රිය පස්වරු 2.33 ට කනන්කසන්තුරේට ළගාවීමට නියමිතයි.

කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා එම ධාවනය කෙරෙන්නේ අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ ඉරිදා යන දිනවල පමණයි.

එය කන්කසන්තුරෙයෙන් පෙරවරු 10.30 ට ගමන් ආරම්භ කරන අතර රාත්‍රී 7.03 වනවිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත ළගාවිමට නියමිතයි.

වායු සමනය කළ පළමු පංතියේ මැදිරි 04කින්ද සමන්විත යාල්දේවී දුම්රියේ ආසන වෙන් කිරීම සිය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් හෝ ආසන වෙන් කිරීමේ පහසුකම් සලසා ඇති දුම්රිය ස්ථාන වෙත පැමිණ හෝ සිදුකළ හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.