මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක් දෙසැම්බර් මස 10 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියා.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ මෙම නඩුකරයට අදාළ ලේඛන සියල්ල විත්තියට භාරදී තිබෙන බවයි. ඒ අනුව මෙම නඩුව විභාගය සඳහා දින නියම කිරීමට හැකියාව තිබෙන බව සඳහන් කළා.

එම අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ විත්තිය විසින් ඉල්ලා සිටි ලේඛන සමහරක් ලැබීමට නියමිතව තිබෙන බවයි. ඉන් අනතුරුව මෙම නඩුකරයට අදාළ පිළිගැනීම් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් පැවසුවා. ඒ අනුව මෙම නඩුව යළි දෙසැම්බර් මස 10 වනදා කැඳවීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එදින මෙම නඩුවට අදාළ පිළිගැනීම් ඉදිරිපත් කරන ලෙස නියෝග කළා.

2009 වසරේ මාර්තු මස 31 වනදා සහ 2013 වසරේ දෙසැම්බර් මස 12 වනදා අතර කාලසීමාව තුළ නීති විරෝධී ලෙස උපයාගත් රුපියල් මිලියන 59කට අධික මුදලක් පෞද්ගලික බැංකු ගිණුම් තුනක ස්ථාවර තැන්පතු ගිණුම්වල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා තුනක් යටතේ මෙම නඩුව ගොනු කර තිබෙනවා.