මෙම වසරේ ලොව දරුණුතම සුළි කුණාටුවට මුහුණ දීමට සූදානමින් සිටින ජැමෙයිකාවේ පුද්ගලයින් තිදෙනෙකු ආපදා හේතුවෙන් දැනටමත් මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසනවා.

ජැමෙයිකාවේ පුද්ගලයින් තිදෙනෙකුට අමතරව හයිටි සහ ඩොමිනිකන් ජනරජයේ මරණ 04ක් වාර්තා වී ඇති බවද විදෙස් වාර්තාවල සඳහන්.

මෙලීසා ලෙස නම් කර ඇති එම සුළි කුණාටුව පස් වන කාණ්ඩයේ සුළි කුණාටුවක් ලෙස කැරිබියන් දූපත්වලට ඇතුළු වනු ඇති බවටයි අමෙරිකානු කාලගුණ විද්‍යා බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ.

පැයට කිලෝ මීටර් 282ක උපරිම වේගයකින් එය කැරිබියන් දූපතට ඇතුළු වනු ඇති බවට එම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

මෙම සුළි කුණාටුව හේතුවෙන් අධික වැසි, ගංවතුර සහ කුණාටු රළ ඇතිවිය හැකි බවටයි කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවා ඇත්තේ.

ඒ අනුව ජැමෙයිකාවේ ඇතැම් ප්‍රදේශවලට අඟල් 40ක් දක්වා වූ අධික වැසි තත්ත්වයක් ඇතිවිය හැකි බවටද අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

මෙය වසර 37කට පසු ජැමෙයිකාව මුහුණ දෙන විශාලතම සුළි කුණාටුව වන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.