මෙරට ඖෂධ සැපයුම් ක්ෂේත්රයේ සුවිශාල පෙරළියක් ඇති කරමින් පාරිභෝගිකයින් සඳහා ඖෂධ වර්ග 350 ක මිල දැවැන්ත ලෙස පාලනය කිරීමට හා නියාමනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
මේ තුළින් මෙරට වෙළෙදපොලේ ඖෂධ රැසක මිල ගණන් දැවැන්ත ලෙස අඩුවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව නව ඖෂධ වර්ග කිහිපයක් වෙළෙඳපොලට හදුන්වාදීම වෙනුවෙන් පැවති උත්සවයකට එක්වෙමින්.
මෙහිදී අදහස් දැක් වූ අමාත්‍යවරයා සඳහන් කළේ මෙරට ඖෂධ වර්ග 350 ක් සඳහා නව මිල මෙම සතිය ආරම්භයේ දී ප්‍රකාශයට පත් කළ බවයි.
ඉදිරියේ දී තවත් ඖෂධ වර්ග 200 ක මිල පාලනය සඳහා මේ වන විටත් කරුණු සළකා බලමින් සිටින බව ද ඔහු පැවසුවා.
ළමා රෝග, පිළිකා, දියවැඩියාව, අධිරුධිර පීඩනය ඇතුළු විවිධ රෝග රැසක් සඳහා ලබාදෙන ඖෂධ වර්ග 350 ක මිල මේ යටතේ පාලනය වනු ඇති.
නව පාලන මිල නියම කිරීමත් සමග පිළිකා රෝගීන්ට මෙතෙක් රුපියල් 42,000 කට පමණ අලෙවි කළ එන්නතක් රුපියල් 26,332 ක් දක්වා අඩු වනවා. අංශභාග රෝගීන්ට ලබාදෙන රුපියල් 6,348 ක ඖෂධයක් රුපියල් 4,100 දක්වා අඩුවනු ඇති.




