තමිල්නාඩු ප්‍රාන්තයේ රජයේ රෝහල්වල උපදින සෑම බිළිඳෙකුටම ග්‍රෑම් එකක රන් මුදුවක් බැගින් තෑගි කිරීමේ සුවිශේෂී වැඩපිළිවෙළක් තමිල්නාඩු මහ ඇමති තලපති විජේ විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

“තායි මාමන් තංග මොතිරම්” ලෙස නම් කර ඇති මෙම නව යෝජනා ක්‍රමය සඳහා වාර්ෂිකව ඉන්දීය රුපියල් කෝටි 755 කට අධික මුදලක් වෙන් කිරීමටයි තමිල්නාඩු රජය තීරණය කර ඇත්තේ.

මෙම රන් මුදු ප්‍රදානය කිරීම ලබන සැප්තැම්බර් මස 15 වනදාට යෙදෙන හිටපු ප්‍රධාන අමාත්‍ය සී. එන්. අන්නාදුරෙයිගේ ජන්ම දින සැමරුම නිමිත්තෙන් නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතයි.

කෙසේ වෙතත්, වත්මන් ප්‍රධාන අමාත්‍ය විජේගේ උපන්දිනය යෙදුණු ජූනි මස 22 වනදා සිට මේ දක්වා රජයේ රෝහල්වල උපත ලැබූ සියලුම බිළිඳුන් සඳහා ද පසුගාමීව මෙම සහනය හිමිවන බව ප්‍රාන්ත රජය නිවේදනය කරනවා.

මෙම ක්‍රමය යටතේ දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවය නොසලකා, රජයේ රෝහල්වල උපදින සියලුම දරුවන්ට සහන සැලසෙන අතර, නිවුන් හෝ ඉන් ඉහළ දරු උපත් සිදුකරන මව්වරුන්ට ද කිසිදු සීමාවකින් තොරව මෙම රන් මුදු හිමි කර ගැනීමට අවස්ථාව පවතිනවා.

මේ සඳහා ප්‍රතිලාභීන් විසින් සලාක කාඩ්පත්, ඡන්දදායක හැඳුනුම්පත් වැනි පදිංචිය තහවුරු කරන ලේඛන ඉදිරිපත් කළ යුතු වනවා.

තමිල්නාඩුවේ වාර්ෂිකව සිදුවන දරු උපත්වලින් සියයට 54 ක් වෛද්‍ය විද්‍යාල රෝහල්වල ද, සියයට 37 ක් දිස්ත්‍රික් රෝහල්වල ද, ඉතිරි සියයට 9 ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානවල ද සිදුවන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙම වටිනා රන් මුදු ආරක්ෂිතව බෙදාහැරීම සහ ගබඩා කිරීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක කැමරා නිරීක්ෂණ සහ විදුලි බල පද්ධති සහිත විශේෂිත ආරක්ෂිත සේප්පු කලාපීය වශයෙන් ස්ථාපිත කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

ප්‍රාන්ත රජය පවසන්නේ සාමාන්‍ය ජනතාවට රජයේ සෞඛ්‍ය සේවාව යනු හුදෙක් අවශ්‍යතාවයකට පමණක් පැමිණෙන තැනක් නොව, දරු උපතකදී ගෞරවයෙන් යුතුව සතුට සැමරිය හැකි ආඩම්බරකාරී ස්ථානයක් බවට පත් කිරීම මෙම වැඩපිළිවෙළෙහි ප්‍රධාන අරමුණ බවයි.