අවසන් පූර්ව වටය පිළිබඳ බලාපොරොත්තු තවදුරටත් ජීවමාන කරමින්, T20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමඟ පැවති මුල්වටයේ තරගයෙන් ශ්‍රී ලංකාව ජයගත්තා.

එංගලන්තයේ මැන්චෙස්ටර් නුවර පැවති මෙම තරගය ඉතා උණුසුම් එකක් වූ අතර අවසානයේදී ශ්‍රී ලංකාවේ ජයගත්තේ කඩුලු තුනකින්.

පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 151ක් රැස් කර ගත්තා.

සාරා බ්‍රයිස් නොදැවී ලකුණු 47යි.
මිතලි අයෝධ්‍යා ලකුණු 34කට කඩුලු 2ක් බිඳහෙලුවා.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 19යි පන්දු 5කදී, එනම් තරගය නිමා වීමට එක පන්දුවක් පමණක් ඉතිරිව තිබියදී කඩුලු 7ක් දැවී ලකුණු 154ක් ලබාගනිමින් සිය ජයග්‍රහණය තහවුරු කළා.

ශ්‍රී ලංකා ඉනිමට වේගවත් ආරම්භයක් ලබාදුන් නායිකා චමරි අතපත්තු පන්දු 16කින් ලකුණු 33යි.

හර්ෂිතා සමරවික්‍රම ලකුණු 27ක් රැස් කළා.

තරගය ජයගැනීමට තවත් ලකුණු හතක් අවශ්‍ය වූ අවසන් පන්දුවාරයේදී දැඩි පීඩනයක් මධ්‍යයේ සන්සුන්ව ක්‍රීඩා කළ සුගන්දිකා කුමාරි සහ නිලක්ෂිකා සිල්වා ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියා.

නිලක්ෂිකා සිල්වා නොදැවී ලකුණු 21යි.

මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන කාණ්ඩයේ 3 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

කෙසේවෙතත්, ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමට නම් තවදුරටත් සෙසු තරගවල ප්‍රතිඵල මත රැඳී සිටීමට සිදුවනවා.

ඒ අනුව, නවසීලන්තය පරදා එංගලන්තය ජයගත යුතු වන අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම විශාල ලකුණු පරතරයකින් පරදා අයර්ලන්තයත් ජය ගත යුතුයි.

එසේ වුවහොත් පමණක් ශුද්ධ ලකුණු වේගය මත ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයේ දොරටු විවෘත වනු ඇති.