දකුණු යුරෝපයේ රටවල් කිහිපයක් හදිසි ලැව්ගින්නකට මුහුණ දී තිබෙනවා. වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ ඉතාලිය, ප්‍රංශය, ස්පාඤ්ඤය, පෘතුගාලය සහ බෝල්කන් යන රටවලටයි. එම රටවල උෂ්ණත්වය පවා මේ වනවිට සෙල්සියස් අංශක 40 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ස්පාඤ්ඤයේ කාලගුණ වාර්තා පැවසුවේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 44 සීමාව ඉක්මවා යා හැකි බවයි. ස්පාඤ්ඤයේ වයඹ දිග කලාපයේ පදිංචිව සිටි 4,000කට ආසන්න පිරිසක් දැනටමත් ඉවත් කර තිබෙනවා. ස්පාඤ්ඤයේ පමණක් හටගෙන ඇති ලැව්ගිනි සංඛ්‍යාව 30කට අධිකයි. පවතින තත්ත්වය හමුවේ දකුණු යුරෝපයේ රටවල් කිහිපයක් දහස් ගණන් ජනතාවට තම නිවෙස්වලින් ඉවත් වන ලෙසට ද දැනුම්දී තිබෙනවා. ඇතැම් ප්‍රදේශවලට රතු අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍යන්හි සඳහන්. ප්‍රංශයේ හතරෙන් තුනක් මේ වන විට පවතින්නේ අධික උෂ්ණත්වයේ අනතුරු ඇඟවීම් මධ්‍යයේයි. දරුණු සුළං හේතුවෙන් ග්‍රීසියේ ද ලැව්ගිනි 100කට වඩා හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.