පිලිපීනයට දරුණු සුළි කුණාටුවක බලපෑම් එල්ල වී තිබෙනවා. එය මේ වසරේ මධ්‍යම පිලිපීනය හරහා හමා ගිය දරුණුතම සුළි කුණාටුව බවටයි පැවසෙන්නේ. ඒ හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 40 දෙනෙකු මිය ගොස් ලක්ෂ හතරකට අධික පිරිසකට තම නිවාස හැර යාමට සිදු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සුළි කුණාටුවෙන් වැඩිම බලපෑම් එල්ල වී ජනාකීර්ණ නගර ඇතුළු විශාල ප්‍රදේශ ජලයෙන් යටවී ඇති බවයි. මේ වන විට නිකුත් වී ඇති වාර්තාවලට අනුව ජීවිත හානි තවදුරටත් වැඩි වනු ඇති බවටයි අනුමාන කෙරෙන්නේ.
මිනිසුන් වහල මත නවාතැන් ගෙන සිටින ආකාරයත් මෝටර් රථ සහ නැව්ගත කිරීමේ බහාලුම් මාර්ගවල ගසාගෙන යන වීඩියෝද මේ වන විට විදෙස් මාධ්‍ය නිකුත් කර තිබෙනවා. ඒ අතරතුර සහන සේවා සඳහා යොදවා ඇති හමුදා හෙලිකොප්ටරයක් උතුරු මින්ඩනාඕ දූපතේදී කඩා වැටී එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මෙම සුළි කුණාටුව පිලිපීනයට ඇතුළු වී ඇත්තේ පැයට කිලෝමීටර 130කට වඩා වැඩි සුළං ප්රවාහයක්ද සමගයි.
එය අද දකුණු චීන මුහුද හරහා ගමන් කරනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. සෑම වසරකම සුළි කුණාටු 20 කින් පමණ බලපෑම් එල්ල වීම පිලිපීනයට සාමාන්‍ය සිද්ධියක්.
Published




