හෙට (24) සිට දින තුනක ජාතික ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

සීග්‍ර ලෙස ව්‍යාප්ත වන ඩෙංගු උවදුර මර්දනය සඳහා ගත යුතු කෙටි කාලීන සහ දිගුකාලීන සැලසුම් පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පවත්වා තිබෙනවා.

ඒ අනුව හෙට සිට 26 වනදා දක්වා දින තුනේදී ජාතික ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ.

ග්‍රාම නිලධාරී වසම් 600ක් ආවරණය වන පරිදි එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

කෙටි කාලීනව ඩෙංගු මර්දනය සඳහා රාජ්‍ය ආයතන, පාසල් සහ පළාත් පාලන ආයතන ආවරණය වන පරිදි ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ චක්‍රලේඛ නිකුත් කිරීමටත් ත්‍රිවිධ හමුදාවේ මූලිකත්වයෙන් අධීක්ෂණ ඒකකයක් පිහිටුවීම සහ නීතිමය ක්‍රියාමාර්ග දැඩි කිරීමටත්, මේ වන විට ප්‍රාදේශීය මට්ටමින් පිහිටුවා ඇති ප්‍රජා ශක්ති සහ මහජන ආරක්ෂක කමිටු මඟින් ඩෙංගු මර්දන කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමටද එහිදී තීරණය වී තිබෙනවා.

මේ අතර මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 47,000 ඉක්මවා ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ. සිදුව ඇති සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 28ක්. රෝගීන් සංඛ්‍යාව මෙලෙස ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් මෙරට රෝහල්වල ධාරිතාවය මේ වන විටත් ඉක්මවා ගොස් ඇති බවත් මෙය දිගින් දිගටම සිදුවුවහොත් සමස්ත රෝහල් පද්ධතියම කඩා වැටීමේ බරපතළ අවදානමක් පවතින බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් පැවසුවා.