අත්අඩංගුවේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා ආහාර වර්ජනය ආරම්භ කිරීමෙන් පසු විමල් වීරවංශ, උදය ගම්මන්පිල, අසංක නවරත්න, සුගීෂ්වර බණ්ඩාර, දිලිත් ජයවීර සහ මහින්ද පතිරණ යන අය විද්‍යුත් මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කළ ප්‍රකාශ හරහා අධිකරණයට අපහාසයක් සිදු කිරීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

මෝසමක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්  කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා වෙත මෙම දැනුම් දීම සිදුකළා.

අදාල නඩුව අද මෝසමක් මාර්ගයෙන් කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පාස්කු ඉරුදින ප්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගත් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා විසින් ඉකුත් 05 වනදා සිට ආහාර වර්ජනයක් ආරම්භ කිරීම නිසා ඔහු ඉකුත් 07 වනදා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ බව සඳහන් කළා.

ඔහු මේ වන විට එම රෝහලේ 42 වන වාට්ටුවේ විශේෂඥ වෛද්‍යවරු හතර දෙනකුගේ අධීක්ෂණ යටතේ ප්‍රතිකාර ලබන බවයි නිලධාරීන් කියා සිටියේ.

ඉන් අනතුරුව විමල් වීරවංශ ,උදය ගම්මන්පිල, අසංක නවරත්න, සුගීශ්වර බණ්ඩාර, දිලිත් ජයවීර සහ මහින්ද පතිරණ යන පුද්ගලයින් දේශපාලන අරමුණක් සහිතව විමර්ශනවලට බාධාවන ආකාරයෙන් මෙන්ම අධිකරණයට යුක්තිය පසිඳලීමේ ක්‍රියා වලියට බාධා වන අයුරින් විද්‍යුත් මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් පළ කර ඇති බවත් එම නිලධාරීන් සඳහන් කළා.

එමෙන්ම සැකකාර සුරේෂ් සලේ වධ හිංසනයන්ට භාජනය වී තිබේදැයි පරීක්ෂා කිරීම සඳහා අධිකරණය විසින් පත්කරනු ලැබූ විශේෂඥ වෛද්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් ද මෙම පුද්ගලයින් විද්‍යුත් මාධ්‍ය හා සමාජ.මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රකාශ නිකුත් කර ඇති බවත් ඒ තුළින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පෙන්වා දුන්නා.

මෙම ක්‍රියාව හරහා එම පුද්ගලයින් අධිකරණය කෙරෙහි මහජන විරෝධයක් ඇති කිරීමට උත්සාහ කර තිබෙන බවත් ඔවුන් සඳහන් කර සිටියා.

එම පුද්ගලයින් හය දෙනා විසින් සිදු කරන ලද අධිකරණයට අපහාසාත්මක ප්‍රකාශ වල අන්තර්ගත වාක්‍ය කණ්ඩ මෙම විමර්ශන වාර්තාවේ ඇතුළත් කර අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවත් විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියා.

2024 වසරේ අංක 8 දරණ අධිකරණ සහ විනිශ්චය ආයතන වලට අපහාස කිරීම සම්බන්ධ පනත යටතේ අධිකරණ අපහාස කිරීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදුකර අභියාචනාධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි කියා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම පුද්ගලයින් හය දෙනාට ලබන 01 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියා.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත ප්‍රශ්නයක් යොමු කරමින් " මේ පුද්ගලයින්ට මේ අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වලා නොතීසි නිකුත් කරන්න කියන්නේ ඇයි? අධිකරණයට අපහාස කර තිබෙනවා නම් ඔවුන් සම්බන්ධයෙන් පියවර ගත යුත්තේ අභියාචනාධිකරණය හමුවේ. ඔවුන් මේ අධිකරණයට කැඳවීම අවශ්‍ය වෙන්නේ නෑ. අධිකරණ අපහාස කර ඇති බව තහවුරු වුනොත් ඔවුන් අභියාචනාධිකරණයට තමයි කැඳවිය යුත්තේ" යනුවෙන් සඳහන් කළා.

ඒ අනුව විමල් වීරවංශ ,උදය ගම්මන්පිල ,දිලිත් ජයවීර, අසංක නවරත්න, සුගීශ්වර බණ්ඩාර සහ මහින්ද පතිරණ යන පුද්ගලයින්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් නොකිරීමට ද මහේස්ත්‍රාත්වරයා තීරණය කළා.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත ප්‍රශ්නයක් යොමු කරමින්" එක් පුද්ගලයෙකු මේ ප්‍රශ්නගත ප්‍රකාශ සිදු කර තිබෙන්නේ ෆේස්බුක් මාධ්‍ය හරහා. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරනවාද? " යනුවෙන් ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා සිටියේ මහින්ද පතිරණ නමැති පුද්ගලයා සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ අධිකරණයට අපහාසාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් පරීක්ෂණයක් සිදු කරන බවත් ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරියේදී ගොනු කිරීමට කටයුතු කරන බවයි.

වැඩිදුරත් අධිකරණය හමුවේ ඉල්ලීමක් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම පුද්ගලයින් විසින් සිදුකළ අපහසාත්මක ප්‍රකාශ අඩංගු සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන ලබා දෙන ලෙස ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව , ස්වර්ණවාහිනිය, සිරස, ශක්ති, හිරුටීවී, දෙරණ , ටී.එන්.එල් සහ වසන්තම් tv යන ආයතන වලට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා.

ඊට අමතරව මෙම පුද්ගලයින් සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් අදාළ ආයතන වල මාධ්‍යවේදීන්, නිවේදකයින්, නිෂ්පාදකයින්, විධායක නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පහසුකම් සලසන ලෙස එම ආයතනවල ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් එම නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලීම් කළා.

එම ඉල්ලීම් පිළිගත් මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙසත් අදාළ ආයතන වල පුද්ගලයින්ගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙසත් අදාල ආයතන වල ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වරුන්ට නියෝග කළා.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රශ්නයක් යොමු කළ මහේස්ත්‍රාත්වරයා අත්අඩංගුවේ පසුවන සුරේෂ් සලේ මහේස්ත්‍රාත්වරයාගේ නිරීක්ෂණය සඳහා යොමු කර තිබේදැයි විමසුවා.

ඊට පිළිතුරු දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ මෙම සැකකරු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

ඒ අනුව ඒ පිළිබඳව මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය දැනුවත් කොට මෙම සැකකරු ලබන 20 වනදාට පෙර නිරීක්ෂණයට ලක් කිරීමට පියවර ගන්නා ලෙසත් මහේස්ත්‍රත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට වැඩිදුරටත් නියෝග කළා.