පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන ඊට මුහුණදීම සඳහා රජයේ සේවකයින්ට හෙට (18) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මේ බව ප්‍රකාශ කළා.
එමෙන්ම වැඩ කරන අනෙකුත් සතියේ දින 4දී ද කොපමණ සේවකයින් ප්‍රමාණයක් සේවා ස්ථානයට ගෙන්වා ගැනීමට අවශ්‍ය ද යන්න සම්බන්ධයෙන් අවශ්‍ය තීරණය ගැනීමට රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට අවසර ලබා දී ඇති බවද ඔහු පැවසුවා.
පාසල් සහ විශ්වවිද්‍යාල එමෙන්ම අධිකරණ ක්ෂේත්රයට ද මෙම දිනය නිවාඩු දිනයක් ලෙස සැලකීමට තීරණය කර තිබෙනවා.
කෙසේවෙතත් සෞඛ්‍ය, වරාය, ජලය සහ රේගුව වැනි අත්‍යාවශ්‍ය සේවා සඳහා මෙම නිවාඩු දිනය අදාළ වන්නේ.
මෙම තීරණය පෞද්ගලික අංශයටත් අදාළ කර ගැනීමට කටයුතු කර ලෙසට වාණිජ මණ්ඩලයෙන් සහ ලංකා සේවක සම්මේලනයෙන් ද ඉල්ලීම් කළ බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසුවා.
මේ අතර සියලු රාජ්‍ය උත්සව කටයුතු තාවකාලිකව නවතා දැමීමටද තීරණය කර තිබෙනවා.
එමෙන්ම අවශ්‍ය පරිදි Zoom තාක්ෂණය ඔස්සේ විශ්වවිද්‍යාලවල දේශන කටයුතු සිදු කිරීමට අවසර ලබා දී තිබෙනවා.
මේ වන විට රට තුළ මසකට සරිලන ඉන්ධන ප්‍රමාණයක් පවතින බවත් තවත් ඉන්ධන නැව් 4ක් මෙරටට පැමිණෙන බව තහවුරු කර ඇති බවත් ඔහු පැවසුවා.
එමෙන්ම රටේ පවතින තත්ත්වය අධ්‍යනය කර ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා අමාත්‍ය මණ්ඩලයේ දී තීරණය කළ පරිදි ප්‍රධාන වශයෙන් කමිටු 4ක් පත් කර තිබෙනවා.
එහිදී, රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා කමිටුවක් පත් කර ඇත්තේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන්.
අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් බලශක්ති කමිටුව පත් කර තිබෙනවා.
අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම සහ අධික්ෂණය කිරීම සඳහා බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති බවද මෙහිදි ප්‍රකාශ කෙරුණා.
විවිධ සමාජ ස්ථරයන් සඳහා සුබසාදන සැලසීම් වෙනුවෙන් අදාළ කමිටුව අමාත්‍ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කර තිබෙනවා.
ඒ සඳහා අමාත්‍යාංශ ලේකම්වරු සහ අත්‍යාවශ්‍ය නිලධාරීන් ද පත් කර ඇති බවයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා වැඩිදුරටත් පැවසුවේ.




