මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති උණුසුම්කාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල නැවතත් දැවැන්ත ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ අමුතෙල් බැරලයක මිල පසුගිය මැයි මාසයෙන් පසුව පළමු වතාවට ඇමරිකානු ඩොලර් 100 සීමාව පසුකර ඇති බවයි වාර්තා වන්නේ.
ඇමරිකාව විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාර තීව්‍ර කිරීමත් සමග ලෝක තෙල් මිල එක්දිනක් තුළ පමණක් සියයට 6 කට ආසන්න ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම, රතු මුහුද හරහා ගමන් කරන තෙල් ප්‍රවාහන නෞකාවලට යේමනයේ හවුති සූක්ෂම ප්‍රහාර එල්ල කිරීමද මෙම ඉන්ධන සපයා ගැනීමේ අර්බුදයට තදින්ම බලපා තිබෙනවා.
තෙල් මිලට අමතරව ස්වාභාවික ගෑස් මිලද සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, බි්‍රතාන්‍යයේ ගෑස් ඒකකයක මිල පෙන්ස් 98 සිට පෙන්ස් 150 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව සඳහන්.
මෙම තත්ත්වය හමුවේ ඇමරිකාව සහ බි්‍රතාන්‍යය ඇතුළු ලොව පුරා රටවල් රැසක උද්ධමනය නැවත ඉහළ යාමේ දැඩි අවදානමක් මතුව තිබෙනවා.
ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ප්‍රවාහන පිරිවැය වැඩිවන අතර, එහි සෘජු බලපෑම ලෙස පාරිභෝගික භාණ්ඩ හා ආහාර ද්‍රව්‍යවල මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැයි ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දෙනවා.
දැනටමත් ඇමරිකාවේ පෙට්‍රල් ගැලුමක මිල ඩොලර් 4 සීමාව ඉක්මවා ගොස් ඇති අතර, බි්‍රතාන්‍යයේද පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා.
පවතින තත්ත්වය හමුවේ ලොව පුරා රටවල මහ බැංකු විසින් පොලී අනුපාත පහත හෙලීමට තිබූ ඉඩකඩ ඇහිරී යන අතර, උද්ධමනය පාලනය කිරීම සඳහා පොලී අනුපාත තවදුරටත් ඉහළ මට්ටමක පවත්වා ගැනීමට සිදුවනු ඇතැයි ආර්ථික විද්‍යාඥයින් වැඩිදුරටත් පුරෝකථනය කරනවා.




