කළුතර දකුණ, වෙට්ටුමකඩේ ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් විමර්ශන කණ්ඩායම් වෙත ලැබී තිබෙනවා.
පොලිසිය පැවසුවේ මියගිය ව්‍යාපාරිකයා පොලිසියට ඔත්තු ලබා දුන්නේයැයි යන සැකය මත මෙම ඝාතනය සිදුකර ඇති බවට සැකකරන බවයි.
මිය ගොස් ඇත්තේ කළුතර දකුණ මරික්කාර් වීදිය ප්‍රදේශයේ පදිංචිව සිටි පකිර් මොහොමඩ් මොහොමඩ් සපික් නමැති 43 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහු කළුතර දකුණ, වෙට්ටුමකඩේ ප්‍රදේශයේ හරහා යමින් සිටියදී එම මාර්ගයේ නවතා තිබූ අළු පැහැයට හුරු මෝටර් රථයක් එකවරම ඉදිරියට පැමිණ මඟ හරස්කර මෝටර් රථය තුළ සිටි පුද්ගලයකු ඒ තුළ සිටම මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව ඒ අසල තිබු CCTV දර්ශනවල සටහන්ව තිබුණා.
වෙඩි වැදුණු පුද්ගලයා කළුතර නාගොඩ මහ රෝහල වෙත ඇතුළත් කරන විටත් මියගොස් තිබූ බව රෝහල් ප්‍රකාශකයකු සඳහන් කළා.
වෙඩි තැබීමට පැමිණි සැකකරුවන් පැමිණි බව කියන මෝටර් රථය ඊයේ රාත්‍රී කළුතර හීනටියන්ගල ප්‍රදේශයේ පදිංචිව සිටින අපරාධ කල්ලි සාමාජිකයකුගේ නිවසට පැමිණි බවටද තොරතුරු ලැබී තිබෙනවා.
එම පුද්ගලයා මියගිය පුද්ගලයා සමග යම් අමනාපයකින් පසුවී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද උසස් පොලිස් නිලධාරියෙකු පැවසුවා.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය හා විශේෂ කණ්ඩායම් කිහිපයක් තවදුරටත් විමර්ශන සිදුකරනු ලබනවා.




