පසුගිය සමයේ දැඩි කතාබහකට ලක් වූ උපකාරක පන්ති ගුරුවරියක වන හයේෂිකා ප්‍රනාන්දු හෙවත් ටීචර් අම්මා විසින් පහරදුන් බව පැවසූ තරුණයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.
ඒ, පහ වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා පන්ති පවත්වන ප්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරියක වන හයේෂිකා ප්‍රනාන්දු හෙවත් ටීචර් අම්මා ඇතුළු පිරිසක් විසින් කළ පැමිණිල්ලකට අනුව තමන්ව කටාන පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින්.
මෙම තරුණයා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ජනවාරි මස 28 වනදා කැඳවන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ.
කටාන ප්‍රදේශයේ අදාළ ගුරුවරියගේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ තාක්ෂණ නිලධාරියකු ලෙස සේවය කළ ක්‍රිෂ්රිමන් රිතික් ත්‍රිෂාල් අගලවත්ත නමැති තරුණයා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබූණා.
එහි වග උත්තරකරුවන් ලෙස කටාන පොලිසියේ පොලිස් පරීක්ෂක අයේෂ් මධුශංක පෙරේරා, ඇතුළු පිරිසක් නම් කර තිබුණා.
පෙත්සම්කරු කියා සිටින්නේ පහ වසර ශිෂ්‍යත්ව උපකාරක පන්ති ගුරුවරියක වන හයේෂිකා ප්‍රනාන්දු විසින් හිමිකාරීත්වය දරණ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක තාක්ෂණ නිලධාරියකු ලෙස තමන් සේවය කළ බවයි.
එසේ සේවය කරමින් සිටියදී පරිගණක පුහුණුවක් ලබා දෙන ලෙස පවසා තරුණියක් එම පුද්ගලික අධ්‍යාපන ආයතනයේ හිමිකාරිය විසින් තමන්ට භාරදුන් බවත් පෙත්සම්කරු කියා සිටියා.
මේ ආකාරයෙන් පරිගණක පුහුණුව ලබාදෙන අතරතුර ඉකුත් මැයි මස 06 වනදා එම ස්ථානයට පැමිණි හයේෂිකා ප්‍රනාන්දු නමැත්තිය මුහුණු පොතේ පළ කර තිබූ කමෙන්ටුවක් පිළිබඳ විමසමින් තමාට පයින් පහර දුන් බවයි ඔහු පවසා ඇත්තේ.
ඉන් පසුව තවත් පිරිසක් සමග එක්ව අමානුෂික ආකාරයෙන් තමාට පහර දුන් බවත් පෙත්සම්කරු චෝදනා කළා.
පසුව අදාල තරුණියගේ දෙමව්පියන් කැඳවා ගෙන ඇයට ලිංගික අතවර සිදුකළ බවට අසත්‍ය චෝදනාවක් ඇය විසින් එල්ල කළ බවත් ඔහු කියා සිටියා. අදාල ආයතනය හිමිකාර ගුරුවරියගේ පැමිණිල්ලක් මත පහරදීම හේතුවෙන් රෝහල්ගතව සිටි තමන්ව ඉකුත් මැයි මස 14 වනදා කටාන පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවයි ඔහු පවසන්නේ.
පැය 48ක් ගතවනතුරු තමන්ව අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිස් නිලධාරීන් කටයුතු නොකළ බව අදාල පෙත්සමේ සඳහන්.