ආපදා අවස්ථාවක සමස්ත රටේ ජනතාව එක්ව සිටින මේ මොහොතේ අසත්‍ය පුවත් සමාජගත කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් මහතා පවසනවා.

මේ වන විට මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිහිපයක් ලැබී තිබෙන බවත්, අදාළ පැමිණිලි සම්බන්ධව පරිගණක විමර්ශන අංශය විමර්ශන ආරම්භ කර තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් මහතා මේ බව සඳහන් කළේ ත්‍රිවිධ හමුදා ආරක්ෂක මූලස්ථානයේ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

පශ්චාත් ආපදා සමයේ රටේ මහජනතාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම වෙනුවෙන් සේවාවන් සහ සැපයීම් අඛණ්ඩව පවත්වාගෙන යෑමට රජය කැපවීමෙන් කටයුතු කරමින් සිටින අවස්ථාවක ඇතැම් පුද්ගලයන් සමාජ මාධ්‍ය ඔස්සේ සත්‍යයෙන් තොර, තහවුරු නොකරන ලද පුවත් සමාජගත කිරීමේ ප්‍රවණතාවක් දක්නට තිබෙන බවත් සහකාර පොලිස් අධිකාරිවරයා සඳහන් කර සිටියා.

මහජනතාව බියට සහ කැළඹීමට පත්වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම සහ පළ කිරීම ඉතා වැරදි ක්‍රියාවක් බවත්, අසත්‍ය තොරතුරු සමාජගත කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේ.

එම නිසා මේ ආපදා අවස්ථාවේදී රටම එකට එක්ව සිටින අවස්ථාවේදී සදාචාර විරෝධීව සත්‍යයෙන් තොර පුවත් සමාජගත නොකරන ලෙස පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් තමන් මහජනතාවගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින බවත් පැවසීය.

රැඳවුම් මධ්‍යස්ථානවල ඇතුළු ආපදාවට ලක්වූ ප්‍රදේශවලින් යම් යම් අපරාධ සිදුවීම් වාර්තාවීමක් දක්නට ලැබෙන බවත්, ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයට අනුව ස්ත්‍රී දූෂණ, අයුතු ඇතුළු වීම්, සොරකම් සහ කොල්ලකෑම් සිදුකරන ඕනෑම පුද්ගලයකුට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බවත් පැවසූ ඒ මහතා රජය ප්‍රමුඛව ආපදාවට ලක්වූවන්ගේ සුබසාධනය වෙනුවෙන් සිදුකරන ඒකාබද්ධ මෙහෙයුමට සියලුම දෙනාගේ ගෞරවණීය දායකත්වය අපේක්ෂා කරන බවත් සඳහන් කර සිටියා.