2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ගෘහ ආර්ථික විද්‍යාව විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ 2026 ජනවාරි 24 දින සිට පෙබරවාරි 02 දින දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේනතුව පවසනවා. එය දිවයින පුරා පිහිටුවනු ලබන පරීක්ෂණ මධ්‍යස්ථාන 42කදී පැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවේ.

පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙතද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර ඔවුන්ගේ අයදුම්පත්‍රවල සඳහන් ලිපිනයන්ටද තැපැල් මාර්ගයෙන් යොමු කර තිබෙනවා.

ප්‍රවේශපත්‍ර තැපැල් මගින් නොලැබුණු අපේක්ෂකයින් සඳහා 2026 ජනවාරි 19 දින සිට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ ප්‍රවේශපත්‍ර භාගත කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවේ.

මෙම විභාගය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීමට අවශ්‍ය නම් පහත සඳහන් සන්නිවේදන මාධ්‍ය ඔස්සේ විමසීම් කළ හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙනවා.

ක්ෂණික ඇමතුම් අංකය : 1911
දුරකථන අංක : 011 2784208 / 011 2784537
ෆැක්ස් අංකය : 011 2784422
විද්‍යුත් තැපෑල : gcealexam@gmail.com