2009 වසරේ සිට මේ දක්වා කාලසීමාවේදී ගල් අඟු‍රු ආනයනයේදී සිදු වු බව කියන අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිලධාරීන්
නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබෙනවා.

එහිදී සිදුකළ ස්ථානීය පරීක්ෂාවේදී ගල් අඟු‍රු ගොඩබෑමේ සිට ගල් අඟු‍රු මගින් විදුලිය ජනනය කරන තෙක් වන සම්පූර්ණ ක්‍රියාවලිය ඔවුන් විසින් නිරීක්ෂණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

එහිදී ගල් අඟු‍රු ගොඩබෑම, ගබඩා කර තැබීම, අහඹු නියැදි සාම්පල ලබා ගැනීම, නියැදි පරීක්ෂණය හා ප්‍රධාන පාලක මැදිරියේ මෙහෙයුම් කටයුතු ආදී කාර්යයන් පිළිබඳව විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමු වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ගල් අඟු‍රු ආශ්‍රිත විදුලි ජනන ක්‍රියාවලිය ආරම්භ වූ අවස්ථාවේ සිට මෙම අප්‍රේල් 16 වන දිනෙන් අවසන් වූ කාල සීමාවේ රජයට අයත් සී/ස ගල්අඟු‍රු පුද්ගලික සමාගම හෝ එහි අනුප්‍රාප්තිකයන් මඟින් ලංකාවට ගල්අඟු‍රු ආනයනය කිරීමේදී සහ විදුලිය නිෂ්පාදනයේදී අක්‍රමිකතා හෝ නීති විරෝධී ක්‍රියා සිදුවී ඇත්දැයි පරීක්ෂා කර බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම කොමිෂන් සභාව පත් කරනු ලැබ තිබෙනවා.