පොත්පත් සහ ලිපි ද්‍රව්‍ය සදහා වන වැට් බද්ද අඩු කිරීමට ඉදිරියේදි පියවර ගන්නා බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසනවා.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත නෙත් එෆ් එම් විශේෂ කුටියට පැමිණි අවස්ථාවේ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

"ඇත්තටම අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා මේ පොත්පත්වල, ලිපිද්‍රව්‍යවල වැට් බද්ද අවම කරන්න, අඩු කරන්න. අපි පහුගිය වසරෙත් මේ සම්බන්ධයෙන් උත්සාහයක් ගත්තා. අපි දන්නවා මේ වෙනකොට අපෙත් ඇත්තටම යම් යම් බැඳීම් එක්ක යන්නේ, විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක තමයි මේ කටයුතු කරමින් යන්නේ. ඒක නිසා යම් යම් බැඳීම් ප්‍රමාණයක් තියෙනවා. හැබැයි ඒ බැඳීම් ටික අපි අවම කරගනිමින්, විශේෂයෙන්ම අපිට අවශ්‍ය සක්‍රීය, සබුද්ධ සමාජයක් නිර්මාණය කරන්න. අලුත් මිනිසෙක් – අපි පුනරුදය කියන්නෙම ඒක. මං හිතන්නේ ඒකට මේ පොත්පත්වලින් දෙන්න පුළුවන් දායකත්වය ඉහළයි. ඉතින් ඒක නිසා අපිට ඕන එහෙම සබුද්ධික සමාජයක් නිර්මාණය කරගන්න. ඒක නිසා අපිට වැඩි වැඩියෙන් පුස්තකාල නිර්මාණය වෙලා, පොත්පත් කියවලා, ඉන්ටර්නෙට් පරිහරණය හරහා ඒ කටයුතු කරගන්න තමයි අපේ අවශ්‍යතාවය තියෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් අපි ඇත්තටම කටයුතු කරනවා. අපි ලබන මාසෙත් ගාල්ල නගරය කේන්ද්‍ර කරගනිමින් මේ වගේම ප්‍රකාශකයන් 100 ක් ගෙනැල්ලා දින 5 ක් පුරාවට ප්‍රදර්ශනයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඇත්තටම දැන් ගත්තොත් ඉතාම හොඳයි. මං හිතන්නේ මේ වෙනකොට විශාල ප්‍රමාණයක් චිත්‍රපට හැදෙමින් තියෙනවා, ඒ වගේම නාට්‍ය හැදෙමින් තියෙනවා, ප්‍රේක්ෂකාගාර පිරෙනවා. අර වෙනස් මිනිසෙක් නිර්මාණය වෙමින් තියෙනවා, ඒක තමයි අපිට අවශ්‍ය කටයුත්ත. ඉතින් ඒ කටයුත්තට මේ කරනු ලබන කාර්යභාරය ඉතාම ඉහළින්ම අපි අගය කොට සලකනවා."

මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සහ නෙත් එෆ් එම් රේඩියෝව ඊට දක්වන දායකත්වය සම්බන්ධයෙන් ද නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා එහිදී අදහස් දැක්වූවා.
"ඇත්තටම මේ වර වගේම මෑත වර්ෂවල ඉතාමත් සාර්ථක පොත් ප්‍රදර්ශනයක් තමයි මේ ජාත්‍යන්තර ප්‍රදර්ශනය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන. විශාල උනන්ද අඩුවක් මේ පොත්පත් කෙරෙහි, ඒ වගේම කලා කටයුතු කෙරෙහි, සංස්කෘතික කටයුතු කෙරෙහි වත්මනේ ඇතිවෙලා තියෙනවා. ඒ ගැන ඇත්තටම සතුටුයි. විශාල පිරිසක් මේ ස්ථානයට ඒකරාශී වෙනවා වගේම අපිට පේනවා හැමදෙනාගෙම ලඟ විශාල පොත් ප්‍රමාණයක් අරගෙන තමයි යන්නේ. ඒක ඇත්තටම සතුටට කාරණයක්. මං හිතන්නේ දීර්ඝ කාලයක් තිස්සේ Neth FM ආයතනය මෙහි නිල මාධ්‍ය සහකරු හැටියට කටයුතු කරනවා. ඒකත් අගය කොට සලකනවා. විශේෂයෙන්ම ගම්දනව් සිසාරාම අහන නාලිකාවක් හැටියට මං හිතන්නේ ඒ පණිවිඩය ගමට ගෙනියන්න, කාන්දු කරන්න, සම්ප්‍රේෂණය කරන්න ඔබගේ මැදිහත්වීමත් අපි අගය කොට සලකනවා."

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය 27 වන වරටත් සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද පැවැත්වෙන්නේ අට වන දිනටයි.

ඒ අනුව එම ප්‍රදර්ශනය අදත් රාත්‍රී 9 දක්වා පාඨකයන් වෙත විවෘතව පවතිනවා.

එවන් පසුබිමක් තුළ මේ වනවිට කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ පරිශ්‍රයේ විශාල පාඨකයින් පිරිසක් රැදී සිටින බවයි එහි සිටින නෙත් විශේෂ නියෝජිතයින් පැවසුවේ.

මෙවරද කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නිල රේඩියෝව වන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.

මෙවරද එහි ස්ථාපිත නෙත් එෆ් එම් විශේෂ කුටියට පාඨකයින්ගේ ඇත්තේ ඉහළ උනන්දුවක්. එහි ස්ථාපිත ඇල්ෆා ස්ටුඩියෝව තුළදි දරු දැරියන්ගේ හඩ පරීක්ෂණ වැඩසටහනක්ද ක්‍රියාත්මකයි.

පසුගිය දින හත පුරාම දිවයිනේ නන්දෙසින් පැමිණි දරු දැරියන් එහිදී සිය දක්‍ෂතා එළි දැක්වූවා.

ඒ අතරින් තෝරාගත් දරුදැරියන්ට නෙත් එෆ් එම් රේඩියෝවේ ළමා වැඩසටහන් සදහා ද ඉදිරිපත් කර ගැණුනා.

ඒ අනුව අද උදෑසන ප්‍රචාරය වූ නෙත් එෆ් එම් ඇල්ෆා ස්ටුඩියෝ සජීව වැඩසටහනට මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ ඉගෙනුම ලබන දීපජ තිරසර සිසුවා එක්වුණා.

එලෙස දක්‍ෂතා දක්වන දරුවන්ට ඉදිරි දිනවලදීද සිය හැකියාවන් නෙත් එෆ් එම් රේඩියෝව හරහා සජීවීව ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා තිබෙනවා.

මේ අතර අවශ්‍යතා සහිත පාසල් දරුදැරියන්ට පොත් පත් පරිත්‍යග කිරීමට මෙවරත් ප්‍රදර්ශණ භූමියේ ඇති නෙත් එෆ් එම් කුටියේ පොත් කැටය වැඩසටහන ක්‍රියාත්මක වනවා.

ඒ පිළිබද නවතම තොරතුරු දැන ගැනීම සදහා අප දැන් සජීවීව සම්බන්ධ වනවා එහි සිටින නෙත් විශේෂ නියෝජිත කසුනි නානායක්කාර සමගින්.