ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ඇමරිකා එක්සත් ජනපද රජය විසින් පරිත්‍යාග කරන ලද TH -57 සී - රේන්ජර් වර්ගයේ බහුකාර්ය හෙලිකොප්ටර් යානා 10, නිල වශයෙන් භාරදී තිබෙනවා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රත්මලාන ගුවන් හමුදා කඳවුරේ පැවති උත්සවයකදීයි.

මෙහිදී ද්විපාර්ශ්වික ගිවිසුමකට අත්සන් තැබීමද සිදු කෙරුණු අතර, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා සහ ඇමරිකානු පැසිෆික් ගුවන් හමුදා ආඥාපති ජෙනරාල් කෙවින් ෂ්නයිඩර් යන මහත්වරුන් විසින් ඊට අත්සන් තැබූවා.

මෙම TH-57 සී රේන්ජර් යානා සතු බහුකාර්ය හැකියාවන් හේතුවෙන් ඉදිරියේදී ඒවා ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ මෙහෙයුම් සඳහා යොදවා ගැනීමට අපේක්ෂා කෙරෙනවා.

මෙම යානා මගින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමු පුහුණු ධාරිතාව සහ ගුවන් මෙහෙයුම් පුළුල් වන අතර මෙම TH-57 බළඇණිය මගින් ආපදා සහන සේවා, සෙවීම් සහ මුදාගැනීම් මෙන්ම හදිසි මහජන සේවා කටයුතු සඳහා ද විශාල සහායක් හිමි වනවා.

ඇමරිකාවේ සිට විශේෂ භාණ්ඩ ප්‍රවාහන පහසුකම් ඔස්සේ ඉතුත් 01 වන දින ශ්‍රී ලංකාවට රැගෙන ආ මෙම යානා, රත්මලාන ගුවන් හමුදා කඳවුරේ පිහිටි ගුවන් ඉංජිනේරු අංශයේදී එකලස් කෙරුණු අතර, ඉන් අනතුරුව, ශ්‍රී ලංකා ගුවන් සීමාවට සහ දේශගුණයට ගැළපෙන පරිදි සිදු කෙරෙන සියලුම තාක්ෂණික පරීක්ෂණ සහ අත්හදා බැලීමේ පියාසැරිය අවසන් කිරීමෙන් පසුව නිල මෙහෙයුම් සඳහා යොදා ගැනීමට නියමිතයි.