චීනය හා යුරෝපා සංගමය අතර පවතින දේශපාලන සබඳතා පිළිබඳ නව නිර්දේශ මාලාවක් සම්මත කර ගැනීමට යුරෝපීය පාර්ලිමේන්තුව පියවර ගත්තේය. තායිවානය ජාත්‍යන්තර සංවිධාන හා බාහිර සබඳතාවලින් ඈත් කර තැබීමට චීනය දරන ප්‍රයත්නයන් මෙම නිර්දේශ මගින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබේ.

යුරෝපීය කවුන්සිලය, යුරෝපීය කොමිසම සහ යුරෝපා සංගමයේ විදේශ කටයුතු සහ ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ උසස් නියෝජිත කාජා කල්ලාස් වෙත යොමු කර ඇති මෙම නිර්දේශ මගින් තායිවානය සහ යුරෝපා සංගමය අතර පවතින සබඳතා පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇත.

තායිවානය සමඟ සමීප සබඳතා පැවැත්වීම මගින් ධනාත්මක ප්‍රතිලාභ රැසක් අත්වන බවත්, එය උපායමාර්ගික වශයෙන් ඉතා වැදගත් වන බවත් එහි සඳහන් වේ.

වෙළඳ හා තාක්ෂණික ක්ෂේත්‍රයන්හිදී තායිවානය අතිශය වටිනා සහකරුවෙකු ලෙස හඳුන්වා දෙන යුරෝපීය පාර්ලිමේන්තුව, ජාත්‍යන්තර සංවිධාන, තෙවැනි පාර්ශ්වීය රටවල් සහ සෙසු පාර්ශ්වයන් ලවා තායිවානයේ ජාත්‍යන්තර සහභාගීත්වය සහ සබඳතා සීමා කිරීමට චීනය සිදුකරන බලපෑම් හෙළා දකින බව ප්‍රකාශ කළේය.

පසුගිය මස යුරෝපීය පාර්ලිමේන්තුව විසින් සංවිධානය කරන ලද "නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ වෙන්ටෝටීන් යුරෝපීය සමුළුව" සඳහා තායිවාන උපජනාධිපති සියෙවෝ බි-කිම්ගේ සහභාගීත්වයට චීනයෙන් එල්ල වූ බලපෑම ද මෙහිදී උදාහරණයක් ලෙස පෙන්වා දී ඇත.

එමෙන්ම, චීනය විසින් ක්‍රියාත්මක කරනු ලබන දේශසීමා ඉක්මවා යන මර්දනකාරී ක්‍රියාමාර්ග කෙරෙහි යුරෝපා සංගමයේ දැඩි අප්‍රසාදය පළ කර තිබේ.