මේ වන විට රිමාන්ඞ් භාරයේ පසු වන හිටපු අතිරේක රස පරීක්ෂකවරයාට අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොන්ටිනන්ටල් ලංකා රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

අල්ලස් කොමිසම විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ වන විට රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු අතිරේක රස පරීක්ෂකවරයාට අල්ලස් ලබාදීම සඳහා වූ ගෙවීම් වලට මෙම සැකකරු අනුමැතිය ලබාදී තිබෙන බවට තොරතුරු හෙළි වී ඇතැයි පැවසුවා.

ඒ අනුව මෙම සැකකරු දූෂණය නමැති වරදට ආධාර අනුබලදීම සහ රජයේ සේවකයෙකුට තුටු පඬුරු ලබාදීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ බවත් විමර්ශන කටයුතු අවසන් නැති නිසා මොහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙහිදී අදාළ රක්ෂණ සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අලි ශබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු හෝ තම සේවා දායක සමාගම කිසිදු ආකාරයකින් අල්ලස් ලබාදීමේ ක්‍රියාවකට දායකවී නොමැති බව පැවසුවා.

රිමාන්ඞ් බාරයේ පසුවන අතිරේක රස පරීක්ෂකවරයාගේ සේවය තම සමාගම විසින් ලබා ගත්තේ නීත්‍යානුකූල ආකාරයකින් බවත් ආයතන සංග්‍රහය යටතේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පෞද්ගලික සේවාවන් සැපයීමට නීතිමය හැකියාව තිබෙන බවත් සඳහන් කළා.

තම සමාගම පසුගිය කාලය තුළ අනතුරට පත් වාහන සහ අනෙකුත් අනතුරු වෙනුවෙන් රුපියල් බිලියන 13 කට වැඩි වන්දි ගෙවා තිබියදී අල්ලස් ලබාදී නීති විරෝධී රස පරීක්ෂක වාර්තා ලබාගන්නේ කුමකටදැයි ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළා.

පසුගිය දිනවල ඇති වූ ආපදා තත්වය හේතුවෙන් පීඩාවට පත්වූ පාර්ශවයන්ට රුපියල් බිලියන තුනකට අධික වන්දි මුදලක් ගෙවීමට නියමිතව තිබෙන බවත් මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කළහොත් එම කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වනු ඇතැයි ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

ඒ අනුව මෙම සැකකරු ඇප මත මුදාහරිණ ලෙසයි ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළා.

සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වලකින ලෙස සැකකරුට අවවාද කළ මහේස්ත්‍රාත්වරයා එසේ කළ බවට පැමිණිලි ඉදිරිපත් වුවොත් ඇප අවලංගු කර රිමාන්ඩ බාරයට පත් කරන බවත් කියා සිටියා.

සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියම වුණා.

ඉන් අනතුරුව නඩු යළි ලබන 22 වනදා කැඳවීමට අධිකරණය නියම කළේ.