තලේබාන් පාලනය නිල වශයෙන් පිළිගත් පළමු රට බවට රුසියාව පත්ව තිබෙනවා.

ඇෆ්ගනිස්ථාන විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුත්තකි පවසා ඇත්තේ රුසියාවේ එම තීරණය ”ධෛර්ය සම්පන්න” තීරණයක් බවයි.

ඇෆ්ගනිස්ථාන විදේශ අමාත්‍යවරයා කාබුල්හිදී ඇෆ්ගනිස්ථානයේ සිටින රුසියානු තානාපති දිමිත්‍රි ෂිර්නොව් හමුවී තිබෙනවා.

එහිදී රුසියානු තානාපතිවරයා විසින් ඇෆ්ගනිස්ථානයේ ඉස්ලාමීය එමීර් රාජ්‍යය පිළිගැනීමට තම රජයේ තීරණය නිල වශයෙන් දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රුසියාවේ විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ඇෆ්ගනිස්ථාන ඉස්ලාමීය එමීර් රාජ්‍යයේ රජය නිල වශයෙන් පිළිගැනීමේ ක්‍රියාව දෙරට අතර ඵලදායී ද්විපාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කිරීමට පහසුවක් වනු ඇති බවයි.

2022 වසරේදී තලේබාන් සංවිධානය සමඟ ජාත්‍යන්තර ආර්ථික ගිවිසුමක් අත්සන් කළ පළමු රට බවට පත් වූයේද රුසියාවයි.

එහිදී ඔවුන් ඇෆ්ගනිස්ථානයට ඉන්ධන, ගෑස් සහ තිරිඟු සැපයීමට එකඟ වුණා.

ඉකුත් අප්‍රේල් මාසයේදී තලේබාන් සංවිධානය, රුසියාවේ ත්‍රස්ත සංවිධාන ලැයිස්තුවෙන් ද ඉවත් කළා.