වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපතිවරයා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දුන් බව පොලීසිය පවසනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව ප්‍රදේශයේදී පළමුව සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

එහිදී එක් සැකකරුවෙකු පලා ගොස් තිබුණා.

ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහය පැතීමටයි පොලීසිය කටයුතු කළේ.

කෙසේවෙතත් එම පලා ගිය සැකකරු ඊයේ පස්වරුවේ මහරගම නාවින්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ විමර්ශන කණ්ඩායමක්, පොලිස් විශේෂ කාර්ය බලකාය, රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් හා ප්‍රාදේශීය පොලිස් නිලධාරීන් කණ්ඩායමකගේ ඒකාබද්ධ මෙහෙයුමක් යටතේ අදාළ මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවයි පොලිසිය පැවසුවේ.

එම සැකකරු වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කළ වෙඩික්කරු බවටද එහිදී අනාවරණ වී තිබෙනවා.

මෙම ඝාතනයට සම්බන්ධ මූලික විමර්ශන සිදු කෙරුණේ දකුණු පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මූලිකත්වයෙන්.

ඒ, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ බවයි පොලිසිය පැවසුවේ.

ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස ක්‍රියාත්මක වූ අදාළ මෙහෙයුමට බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එක්ව තිබෙනවා.

එමෙන්ම කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති, බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ, අපරාධ වාර්තා කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ, දක්‍ෂිණ අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ඇතුළු එම කොට්ඨාසවල නිලධාරීන්ද අදාළ ඒකාබද්ධ මෙහෙයුමට එක්වූ බවයි පොලීසිය පැවසුවේ.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මහජනතාව පොලීසියට දැක්වූ සහයෝගයද ඉතා අගය කොට සලකන බවයි පොලිස් දෙපාර්තමේන්තුව පැවසුවේ.