යුක්‍රේන යුද්ධය අවසන් කිරීමේ සැලැස්ම තමාගේ අවසාන යෝජනාව නොවන බවත්, වෙනත් ආකාරයකින් හෝ එම සටන් නතර වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඔහු මේ බව පවසා සිටියේ කරුණු 28කින් යුත් යෝජනාව “යුක්‍රේනයට අවසාන දීමනාව” දැයි මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදීයි.

එහිදී ඔහු කියා සිටියේ යුක්‍රේනයේ යුද්ධය කෙසේ හෝ අවසන් කිරීමට උත්සාහ කරන බවත්, එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් එය අවසන් කිරීමට සිදුවන බවයි.

යුක්‍රේන ජනාධිපති ද එයට කැමති විය යුතු බවත්, එයට අකමැති වන්නේ නම් ඔවුන්ට දිගටම සටන් කිරීමට සිදුවන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් එහිදී පවසා තිබෙනවා.

යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි එම සැලැස්මට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ, තමා එම සැලැස්ම සඳහා විකල්ප යෝජනා කරන බවයි.

එම සැලැස්ම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසා ඇත්තේ, සැලැස්ම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට තමන් කැමැත්තෙන් සිටින බවයි.