පවතින අයහපත් කාලගුණ තත්ත්වය  හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගය, තිල්අඩි ප්‍රදේශයේදී ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී ඇති බවත් ජල මට්ටම තව දුරටත් වැඩි වෙමින් පවතින බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අද පස්වරුවේ (13) සහ හෙට දින පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය හලාවත දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා කරන බවයි දුම්රිය ගමනාගමන අධිකාරි G.D.A සමරසිංහ මහතා පැවසුවේ.

ඒ අනුව අද දින පුත්තලම කාර්යාල දුම්රිය සහ අනෙකුත් සියලු දුම්රියන් කොළඹ කොටුව සිට හලාවත දක්වා පමණක් ධාවනය කෙරෙනවා.

හෙට දින උදෑසන එම දුම්රියන් හලාවත දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

පවතින තත්වය සැලකිල්ලට ගෙන හලාවත සහ පුත්තලම අතර දුම්රිය ධාවනය පිළිබඳව ඉදිරියේදී දැනුවත් කිරීමට කටයුතු කරන බවද දුම්රිය ගමනාගමන අධිකාරි
G.D.A සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසුවා.