ධීවර ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ධීවර ප්‍රජාවගේ ජීවිත සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින් ‘සයුර’ විශේෂ ජීවිත රක්ෂණ ක්‍රමය කුඩාවැල්ලේදී සාර්ථකව එළිදක්වා තිබෙනවා. මෙම අවස්ථාවට හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සම්බන්ධීකරණ කමිටු සභාපති නිහාල් ගලප්පත්ති මහතා පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙන්රත් මහතා කෘෂි රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ධීවර ප්‍රජාව සහභාගී වි තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා සිය ප්‍රධාන දේශනයේදී අවදානම් සහිත ධීවර ජීවිතයට රක්ෂණයක් නොමැතිව දිවි ගෙවීමේ අභියෝගය පෙන්වා දී ඇත. වත්මන් රජය 2019 ජනාධිපතිවරණ සමයේදී ධීවර ජනතාවට ලබා දුන් ප්‍රධාන පොරොන්දුවක් වූ ජීවිත රක්ෂණ ක්‍රමයක් ස්ථාපිත කිරීම අද දින කුඩාවැල්ලේදී යථාර්ථයක් වූ බව ඔහු අවධාරණය කළා. මෙම නව රක්ෂණ ක්‍රමය මගින් මෙතෙක් නොතිබූ වරප්‍රසාද සහිත ප්‍රතිලාභ හිමිවන බවත් රුපියල් මිලියන 1.2 සිට 2 දක්වා වූ ප්‍රතිලාභ මට්ටම් යටතේ කිසියම් ආබාධයක් අර්ධ හෝ පූර්ණ අකර්මණ්‍යවීමක් මියයාමක් හෝ අතුරුදන්වීමක් වැනි අවස්ථාවලදී පවා සහන සැලසෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. මෙමගින් ධීවර ජනතාවට සහ ඔවුන්ගේ පවුල්වල දූ දරුවන්ට සැබෑ සුරක්ෂිතභාවයක් සහ ජීවිත ආවරණයක් ලැබෙන බවද ඔහු අවධාරණය කළා. මෙම වසරේ නොවැම්බර් 22 වන දින ජාත්‍යන්තර ධීවර දිනයේදී නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් ද හඳුන්වා දීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා. කෘෂි රක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා අදහස් දක්වමින් පසුගිය වසර 70ක් පුරා ධීවර ප්‍රජාවට ස්ථිරසාර රක්ෂණ ක්‍රමවේදයක් නොතිබුණු බවත් ‘සයුර’ රක්ෂණය එම අඩුපාඩුව පුරවන බවත් සඳහන් කළා. මෙය වාර්ෂිකව රුපියල් 1850ක් වැනි සුළු දායක මුදලකට සම්බන්ධ විය හැකි අතර ජීවිත හානියකදී රුපියල් 12,00,000ක ප්‍රතිලාභයක් හිමිවන බවත් අර්ධ වශයෙන් අකර්මණ්‍ය වුවහොත් රුපියල් 6,00,000ක මුදලක් ගෙවන බවත් පෙන්වා දුන්නා. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ පසුගිය වසරේ පමණක් ධීවරයින් 47 දෙනෙකු මුහුදේදී මියගිය හෝ අතුරුදන් වූ බවයි. මේ තත්ත්වය ධීවර පවුල්වල ආර්ථිකය සම්පූර්ණයෙන් බිඳ දමන බැවින් ‘සයුර’ වැනි රක්ෂණ ක්‍රමයක අවශ්‍යතාව අතිශයින්ම වැදගත් බව ඔහු අවධාරණය කර සිටියා. සමස්ත ධීවර කර්මාන්තය නඟා සිටුවීම සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් රජය කැපවී සිටින බවත් මෙය ආරම්භයක් පමණක් බවත් ගමගේ මහතා වැඩිදුරටත් පැවසුවා. ධීවර ප්‍රජාවට මෙම නව වැඩසටහනට දායක වන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී ආරාධනා කළා.