රුපියල් 45,926,957ක් වටිනා ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික පෞද්ගලික ගුවන් සමාගමක සේවිකාවක අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය 27 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පදිංචි තරුණ ගුවන් සේවිකාවක් බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.

ඇය අද දින අලුයම 12.00 ට ඇය සේවය කළ ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8.ඩී.- 822 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

එහිදී ඇය විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 163 ක් බරැති මෙම ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගය සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ගුවන් යානා කාර්යය මණ්ඩල සදහා පිටතට පැමිණීමේ දොරටුවෙන් පිට වී යාමට තැත් කරමින් සිටියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මෙම ගුවන් සේවිකාව අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.