ඉරානයේ න්‍යෂ්ටික බලාගාර තුනකට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට ජාතිය අමතා තිබෙනවා.
එහිදී අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඉරානය දැන් සාමය ඇති කර ගත යුතු බවත් ඔවුන් එසේ නොකළහොත් අනාගත ප්‍රහාර බොහෝ විශාල වනු ඇති බවයි.
එමෙන්ම සිදුකළ ප්‍රහාර විශ්මයජනක මිලිටරි සාර්ථකත්වයක් ළඟා කර ගත් බවට තමාට ලෝකය හමුවේ පවසා සිටිය හැකි බවද ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.
ට්‍රම්ප් පවසන්නේ ඊශ්‍රායලය වෙත ඉරානයෙන් එල්ල වූ බිහිසුණු තර්ජනය මකා දැමීමට අමෙරිකාව සහ ඊශ්‍රායලය කණ්ඩායමක් ලෙස කටයුතු කළ බවයි.
තමන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට සුබ පැතුම් එක්කරන බවද අමෙරිකානු ජනාධිපතිවරයා සිය ජාතිය ඇමතීමේදී ප්‍රකාශ කර තිබෙනවා.
අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ අමෙරිකාව සිදුකළ ප්‍රහාර හමුවේ ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික බලාගාර සම්පූර්ණයෙන්ම විනාශ කර දැමූ බවයි.
මේ අතර අමෙරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් අනතුරුව ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බෙන්ජමින් නෙතන්යාහු දුරකතන සංවාදයක නිරත වූ බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
එමෙන්ම ප්‍රහාරයෙන් පසුව බෙන්ජමින් නෙතන්යාහු ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් සහ තමා බොහෝ විට පැවසුවේ
“ශක්තිය තුළින් සාමය” යන්න බවයි. ඒ අනුව පළමුව ශක්තිය පැමිණෙන බවත් පසුව සාමය පැමිණෙන බවත් බෙන්ජමින් නෙතන්යාහු එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.
මේ අතර ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කරන ලද අමෙරිකානු ප්‍රහාර හෙළා දකිමින් සිය ‘X’ ගිණුමෙහි සටහනක් පළ කර තිබෙනවා.
එමගින් ඔහු අනතුරු අගවන්නේ ඉරානයට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරය “සදාකාලික ප්‍රතිවිපාක” ඇති කරන බවයි.
ඉරානය සිය ස්වෛරීභාවය, උනන්දුව සහ ජනතාව ආරක්ෂා කිරීම සඳහා ගත හැකි සියලු විකල්ප ගන්නා බවද ඉරාන විදේශ අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.
ඉරාන විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස සිටින අමෙරිකාව, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවයි.
ඉරානයට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරයෙන් අනතුරුව ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමෙනි විසින් පසුගිය දිනක නිකුත් කළ ටෙලිග්‍රෑම් නිවේදනයක් යාවත්කාලීන කර තිබෙනවා.
අමෙරිකාවට අනතුරු අගවමින් ඔහු සඳහන් කර ඇත්තේ යුද්ධයට අවාසිදායක ලෙස අමෙරිකාව අවතීර්ණ වී ඇති බවයි.
එමගින් සිදුවන හානිය ඉරානයට මුහුණ දීමට සිදුවන ඕනෑම හානියකට වඩා බෙහෙවින් විශාල වනු ඇති බවද ඉරාන උත්තරීතර නායකයා යාවත්කාලීන කළ ටෙලිග්‍රෑම් නිවේදනයේ සඳහන්.
මේ අතර අමෙරිකාව විසින් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරය විදෙස් රටවල් කිහිපයක් හෙළා දැක තිබෙනවා.
ප්‍රහාරය හෙළා දකිමින් ඇතැම් රාජ්‍ය නායකයින් අනතුරු ඇගවීම් මෙන්ම තවත් නායකයින් සාමය ද ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
කියුබාව, චිලී රාජ්‍යය, වෙනිසියුලාව, කොලොම්බියාව, මෙක්සිකෝව ඇතුළු රටවල් කිහිපයක් විසින් අමෙරිකාව සිදුකළ මෙම ප්‍රහාරය හෙළා දැක තිබෙනවා.
එම රටවල් පෙන්වා දී ඇත්තේ මැදපෙරදිග ගැටුම භයානක ලෙස උත්සන්න කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සාහ කරන බවයි.
අමෙරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික ඉලක්ක තුනකට අද උදෑසන ගුවන් ප්‍රහාර එල්ල කරනු ලැබුවා.
එලෙස ගුවන් ප්‍රහාර එල්ල කරනු ලැබුවේ ෆෝර්ඩෝ සහ නටාන්ස් න්‍යෂ්ටික මධ්‍යස්ථාන සහ එස්ෆහාන් න්‍යෂ්ටික කලාපයටයි.
අමෙරිකානු දූපතක් වන ගුවාම් දූපත වෙත යවන ලද B-2 නම් රහසිගත බෝම්බ හෙලන යානා මගින් එම ප්‍රහාර එල්ල කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.