වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රැඳවියන් පිරිස තවත් අඩු කිරීමට වෛද්‍යවරුන්ගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව දියවැඩියාව පාලනය කිරීම සඳහා ඉන්සියුලින් එන්නත ලබා ගන්නා රැඳවියන් එම රෝහලට ඇතුළත් නොකිරීමට අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

දියවැඩියාව රෝගයෙන් පෙළෙන රැඳවියන් වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඔවුන්ට අදාල එන්නත් ලබාදීම මෙතෙක් සිදු වූ ක්‍රමවේදයයි.

ඒ අනුව එලෙස රෝහල්ගත වන රැඳවියන්ට දින කිහිපයක් නේවාසිකව රෝහලේ රැඳී සිටීමට අවස්ථාව හිමි වනවා.

එම රෝග තත්ත්වයෙන් පසුවන රැඳවියන් 24 දෙනෙකු මේ වන විටත් වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව සිටින බවයි එම රෝහල් ආරංචිමාර්ග පැවසුවේ.

මින් ඉදිරියට දියවැඩියාව පාලනය කිරීම සඳහා, රැඳවියන්ට ඔවුන් රඳවා සිටින බන්ධනාගාරය වෙත ගොස් ඉන්සියුලින් එන්නත ලබාදීමට තීරණය කර තිබෙනවා.

එහි නියමු ව්‍යාපෘතියක් ලෙස කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් 08 දෙනෙකුට ඉන්සියුලින් එන්නත, එම බන්ධනාගාරයටම ගොස් ලබාදීමට වැලිකඩ බන්ධනාගාර රෝහල විසින් ආරම්භ කර ඇති බවයි බන්ධනාගාර ආරංචිමාර්ග පැවසුවේ.

ඉදිරියේදී කොළඹ බන්ධනාගාරවලද එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇති බව වැඩිදුරටත් වාර්තා වුණා.