ලෝකයේ සිදුවන පරිවර්තනයන්ට වඩාත් අත්‍යවශ්‍ය සහ ප්‍රතිචාරාත්මක සංවිධානයක් බවට පත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ අර්ථවත් ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සහාය දෙන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය හවුල්කරුවෙකු බවයි අමාත්‍යවරයා පැවසුවේ.
ඒ, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81වැනි සැසිවාරය අමතමින්.
සමකාලීන ගෝලීය යථාර්ථයන් පිළිබිඹු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ පද්ධතිය ශක්තිමත් කිරීමේ වැදගත්කම සහ නැගී එන ජාත්‍යන්තර අභියෝගවලට මුහුණ දීම සඳහා එහි ආයතන ඵලදායීව පවතින බව සහතික කිරීමේ වැදගත්කමද අමාත්‍යවරයා එහිදී අවධාරණය කර තිබෙනවා.
පසුගිය වසරවල ශ්‍රී ලංකාව මුහුණ දුන් දැඩි ආර්ථික අර්බුදයෙන් සහ ‘දිට්වා‘ සුළි කුණාටුව වැනි දරුණු ස්වාභාවික ව්‍යසනයන්ගෙන් අනතුරුව, රට නැවතත් සාර්ව ආර්ථික ස්ථාවරත්වයක් කරා ළඟා වී ඇති බවයි අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇත්තේ.
ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව නැවතත් ඉහළ මධ්‍යම ආදායම් ලබන ආර්ථිකයක් ලෙස වර්ගීකරණය කර ඇති බවත්, දේශගුණික සාධාරණත්වය වෙනුවෙන් 2030 වන විට 70% ක පුනර්ජනනීය බලශක්තියක් සහ 2050 වන විට කාබන් උදාසීනත්වය ළඟා කර ගැනීමට රට නියමිත මාවතේ ගමන් කරන බවද එහිදි ප්‍රකාශ කර තිබෙනවා.
ජාත්‍යන්තර දේශපාලන තත්ත්වයන් සහ ගැටුම්කාරී වාතාවරණයන් හමුවේ වුවද, ශ්‍රී ලංකාව සෑම විටම මානව හිමිකම්, ජාත්‍යන්තර නීතිය සහ මානුෂීයභාවය මුල්තැනෙහිලා සලකා කටයුතු කර ඇති බවයි අමාත්‍ය විජිත හේරත් මහතා එහිදී පෙන්වා දී ඇත්තේ.
එමෙන්ම ගාසා තීරයේ සහ පලස්තීන භූමියේ පවතින තත්ත්වය පිළිබඳව කණගාටුව පළ කළ ඔහු, 1967 ට පෙර පැවති සීමා මායිම් තුළ ස්වාධීන සහ ස්වෛරී පලස්තීන රාජ්‍යයක් පිහිටුවීමට වන ජාත්‍යන්තර ප්‍රජාවේ ඉල්ලීමට ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය හිමි වන බවයි අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ.




