ඇතැම් පිරිස් කුමන බාධා කිරීම් සිදු කළද නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා.

ආණ්ඩුවේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට ඇතැමුන් උත්සාහ දරමින් සිටින බවයි නෙත් නිවුස් සිව්වෙනි මානය වැඩසටහනට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

වසීම් තාජුඩීන්ගේ මරණයට අදාලව සිදු කෙරෙන විමර්ශන සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වුණා.

පාස්කු ප්‍රහාරය සහ පසුගිය ආණ්ඩු සමයන්හීදී නතර කර තිබූ සිද්ධීන් කිහිපයකට අදාලව විමර්ශන යළි ආරම්භ කර ඇති බවයි මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා එහිදී ප්‍රකාශ කළේ.

මේ අතර පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හඳුනාගෙන ඇති බවත් එය පිටුපස ඉන්දියාව සිටින බවටත් සමාජ මාධ්‍යයේ සංසරණය වන පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැති බව පොලිසිය පැවසුවා.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා විසින් පාර්ලිමේන්තු උසස් නිලතල කාරක සභාවට එම ප්‍රකාශ සිදුකළ බවට එලෙස සමාජ මාධ්‍යයේ සංසරණය වන පුවතේ සඳහන් බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

එම පුවත සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ද කරුණු දක්වා ඇති බව පොලිසිය පැවසුවා.

ඔහු පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාව විසින් කරන ලද කැඳවීමකට අනුව ඊයේ දිනයේ තමන් එම කාරක සභාව හමුවේ පෙනී සිට මතු වූ කාරණා සම්බන්ධයෙන් පිළිතුරු ලබා දුන් බවයි.

එහෙත් පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්දියාව සිටින බවට කිසිදු අවස්ථාවක එහිදී ප්‍රකාශ නොකළ බවද මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා අවධාරණය කරනවා.

ඒ අනුව සමාජ මාධ්‍යයේ සංසරණය වන පුවත තරයේ ප්‍රතික්ෂේප කරන බවත් එය සත්‍යයෙන් තොර පුවතක් බවත් ඔහු පවසනවා.

එම අසත්‍ය පුවත ප්‍රචාරය කිරීමට කටයුතු කරන ලද පුද්ගලයින් සම්බන්ධව විමර්ශනයක් පැවැත්වීමට පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා නීතීඥවරුන් වෙත උපදෙස් ලබාදී ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.