අමෙරිකානු ඩොලර් මිලියන 206ක මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය සිය එකඟතාවය පළ කර තිබෙනවා.

කඩිනම් මූල්‍ය පහසුකම යටතේ එම මුදල ශ්‍රී ලංකාවට ලබාදීමටයි එලෙස එකඟතාව පළ කර ඇත්තේ.

ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම සම්බන්ධයෙන් සලකාබැලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ඊයේ රැස්ව ඇති අතර එහිදී අදාළ මුල්‍ය පහසුකම ලබාදීමට එකඟතාවය පළ වී තිබෙනවා.

දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ විනාශයෙන් පසුව පවතින අභියෝගවලට මුහුණදීම සඳහා කඩිනම් මූල්‍ය පහසුකමක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලීමක් සිදුකර තිබුණා.

ඒ අනුව එම අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ අරමුදල් ණය පහසුකමට අමතරව මෙම මූල්‍ය පහසුකම ලබාදීමට නියමිතයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ 5වන සමාලෝචනය මේ වනවිට අවසන් කර තිබෙනවා.

ඊට අනුමැතිය ලබාදීම සඳහා විධායක මණ්ඩලය පසුගිය දෙසැම්බර් මස 15 වනදා රැස්වීමට නියමිතව තිබුණ ද එය කල් දමා ඇත්තේ මෙම කඩිනම් මූල්‍ය පහසුකම ඉල්ලීම හේතුවෙන්.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා නැවත ආරම්භ කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් කණ්ඩායමක් ලබන වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි වාර්තා වුණේ.