ඉන්දියාව සිය පළමු ප්‍රතිචාර දැක්වීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස ගංවතුරින් විපතට පත් මොසැම්බික් රාජ්‍යයට ආහාර සහ සහනාධාර යවා ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් පැවසුවේ ඉන්දියාව විසින් ක්ෂණික ආහාර ආධාර ලෙස සහල් මෙට්‍රික් ටොන් 500 ක්, අත්‍යවශ්‍ය සහන ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 10 ක් සහ අනෙකුත් ආධාර එවා ඇති බවයි.

මොසැම්බික්හි මධ්‍යම සහ දකුණු පළාත්වලට බලපා ඇති විනාශකාරී ගංවතුර හමුවේ ඉන්දියාව එම රට සමඟ සහයෝගයෙන් සිටින බව ද ඔහු පැවසුවේය.

මානුෂීය ආධාර සහ ආපදා සහන ප්‍රයත්නයන්හි කොටසක් ලෙස, මොසැම්බික් ජනතාවට සහය වීම සඳහා ඉන්දියාව බහුවිධ ප්‍රතිචාරයක් දියත් කර ඇත.

මෙයට ක්ෂණික ආහාර ආධාර ලෙස සහල් මෙට්‍රික් ටොන් 500 ක්, කූඩාරම්, සනීපාරක්ෂක කට්ටල සහ පුනරුත්ථාපන ආධාරක ද්‍රව්‍ය වැනි අත්‍යවශ්‍ය සහන ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 10 ක් සහ ඉන්දියානු නාවික හමුදා නෞකාවක් මගින් අත්‍යවශ්‍ය ඖෂධ ටොන් 3 ක් යැවීම ඇතුළත් වේ.

මීට අමතරව, ජීවිතාරක්ෂක ඖෂධ මෙට්‍රික් ටොන් 86 ක් දැනටමත් මුහුදු මාර්ගයෙන් ලබා දී ඇත.