අමෙරිකාවේ ඩෙන්වර් ගුවන් තොටුපළේදී අමෙරිකානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක ඇතිවූ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් ගින්නක් හටගෙන තිබෙනවා.

ඒ හේතුවෙන් ඩෙන්වර් සිට මියාමි දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන අවලංගු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙලෙස ගිනිගැනීමට ලක්ව ඇත්තේ, අමෙරිකානු ගුවන් සේවයට අයත් බෝයිං 737 මැක්ස් 8 ගුවන් යානයක්.

ඩෙන්වර් ගුවන් තොටුපළෙන් පිටත් වන විට එරට වේලාවෙන් පස්වරු 2:45ට පමණ ගුවන් යානයේ ගොඩබෑම් ගියර් පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් එම ගුවන් යානයේ ටයරයේ ගින්නක් සහ දුමාරයක් හටගෙන තිබෙනවා.

මෙහිදී ගුවන් යානය ධාවන පථයෙන් හදිසි ඉවත් කිරීමක් සිදු කර තිබෙනවා.

එහි ගමන්ගත් මගීන් 173 දෙනාම ආරක්ෂිතව පිටතට ගෙන ඇති අතර එක් අයෙකු සුළු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඩෙන්වර් ගිනි නිවන දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ ගින්න නිවා දැමූ බවයි.

මාස පහක් ඇතුළත ඩෙන්වර්හි බෝයිං 737 මැක්ස් 8 ගුවන් යානයක ගින්නක් වාර්තා වූ දෙවන අවස්ථාව මෙයයි.

මාර්තු මාසයේදී ‘ඩලස්’ බලා යන අමෙරිකානු ගුවන් සේවයේ ගුවන් යානයක් ඩෙන්වර් ගුවන් තොටුපළේදී ගිනි ගැනීමට ලක්වී තිබුනා.