හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් ඉදිරිපත් කරන ලද අභියාචනයක් විභාග කිරීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු අද ඉවත් වුණා.
රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා මෙම අභියාචනය ඉදිරිපත් කර ඇත්තේ විල්පත්තු රක්ෂිතය ආසන්නයේ වනාන්තර හෙළි කර නැවත පදිංචි කිරීම් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලබාදුන් මුල් නඩු තීන්දුවට එරෙහිවයි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් හමුවේ මෙම අභියාචනය විභාගයට ගැනෙමින් තිබෙනවා.
එසේ තිබියදී අභියාචනය විභාග කිරීමෙන් අද ඉවත් වූයේ ඒ.එච්.එම්.ඩී. නවාස් විනිසුරුවරයායි.
පෞද්ගලික හේතූන් මත තමන් මෙම විභාගයෙන් ඉවත් වන බව විනිසුරුවරයා ප්‍රකාශ කළා.
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් ඉදිරිපත් කරන ලද අභියාචනයක් විභාග කිරීමෙන් විනිසුරුවරයෙකු ඉවත් වූ පළමු අවස්ථාව මෙය නොවෙයි.
මීට පෙර මහින්ද සමයවර්ධන සහ යසන්ත කෝදාගොඩ ඇතුළු විනිසුරුවරුන් හතර දෙනෙකු මෙම අභියාචනය විභාගයෙන් ඉවත් වුණා.
මේ අතර අභියාචනය මගින් අභියෝගයට ලක් කර ඇති මුල් නඩු තීන්දුවෙන් අධිකරණය රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාට නියෝග කළේ විල්පත්තු රක්ෂිතය ආසන්නයේ නැවත වන වගා කිරීම සඳහා වියදම් ලෙස රුපියල් කෝටි 106 ක මුදලක් ගෙවන ලෙසයි.
එම තීන්දුව අහෝසි කරන ලෙස ඉල්ලමිනුයි හිටපු අමාත්‍යවරයා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනය ඉදිරිපත් කර ඇත්තේ.
අදාළ අභියාචනය වෙනත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ලබන සැප්තැම්බර් මස 09 වනදා නැවත කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා.



