චීන සමාගම් විසින් නිෂ්පාදනය කරනු ලබන මිනිස් ස්වරූපී රොබෝවරුන් (humanoid robots) රජය විසින් මිලදී ගැනීම හෝ ක්‍රියාත්මක කිරීම තහනම් කෙරෙන පනත් කෙටුම්පතක් හඳුන්වා දීමට අමෙරිකානු සෙනෙට් සභිකයන් දෙදෙනෙකු සැලසුම් කර තිබෙනවා.
මෙම පියවර ගෙන ඇත්තේ චීන තාක්ෂණය හරහා සිදුවිය හැකි ජාතික ආරක්ෂක අවදානම් සහ දත්ත රහස්‍යභාවය පිළිබඳ පවතින උත්සුකයන් සැලකිල්ලට ගනිමින්.

සෙනෙට් සභිකයන් වන ටොම් කොටන් (Tom Cotton) සහ චක් ෂූමර් (Chuck Schumer) විසින් මෙම ව්‍යවස්ථාදායකය හඳුන්වා දීමට සැලසුම් කර ඇත්තේ ජාතික ආරක්ෂක අවශ්‍යතා පදනම් කරගෙන බවටයි වාර්තා වන්නේ.

මෙමගින් ඇමෙරිකානු රජයේ ආයතනවලට එවැනි පද්ධති මිලදී ගැනීම හෝ ක්‍රියාත්මක කිරීම තහනම් කරනු ඇති.

යෝජිත ”‍ඇමෙරිකානු ආරක්ෂක රොබෝ තාක්ෂණ පනත”‍ (American Security Robotics Act) මගින් චීනය ඇතුළු සතුරු රටවල් ලෙස සැලකෙන රටවල සමාගම් විසින් නිපදවන ලද ‘මිනිසුන් රහිත ගොඩබිම් වාහන‘ (unmanned ground vehicles) සඳහා ෆෙඩරල් අරමුදල් භාවිතා කිරීම ද තහනම් කරනු ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පියවර ගෙන ඇත්තේ චීන තාක්ෂණික නිෂ්පාදන ඉලක්ක කර ගනිමින් ඇමෙරිකානු බලධාරීන් විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග මාලාවකින් පසුවයි.

මෙම සතිය මුලදී, ෆෙඩරල් සන්නිවේදන කොමිෂන් සභාව (FCC) විසින් ආරක්ෂක හේතූන් මත විදේශීය නිෂ්පාදිත ‘රවුටර්‘ (routers) උපකරණ සිය තහනම් ලැයිස්තුවට (Covered List) ඇතුළත් කළ අතර, චීන ඩ්‍රෝන යානා ආනයනය සීමා කිරීමට ද මෑතකදී පියවර ගත්තා.

කෙසේ වෙතත්, තවමත් නිල වශයෙන් ඉදිරිපත් කර නොමැති මෙම පනත් කෙටුම්පත අනාගතයේදී සම්මත වුවහොත්, එය ඊලොන් මස්ක්ගේ ටෙස්ලා (Tesla) සමාගමට සුභ ආරංචියක් වනු ඇති.

නිෂ්පාදන කටයුතු සහ ගෘහස්ථ වැඩකටයුතු සඳහා නිර්මාණය කර ඇති ‘මිනිස් ස්වරූපී රොබෝවරුන්‘ (humanoid robots) නිපදවීමේදී චීන සමාගම් ඇමෙරිකානු සමාගම් සමඟ දැඩි තරඟයක නිරත වනවා.