ගෙවීම පැහැර හැර තිබෙන බව කියන රුපියල් මිලියන 5800 ක වැට් බදු මුදල්, කිසිදු නිදහසට කරුණක් නොකියා වහාම ගෙවා අවසන් කරන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමේ අධ්යක්ෂවරුන්ට නියෝග කළා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැවරූ මෙම නඩුව කොළඹ අතිරේක මහේස්ත්රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී, එහි විත්තිකරුවකු වන අදාළ සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා අධිකරණය හමුවේ පෙනී සිටියා.
මෙහිදී විත්තිකාර සමාගමේ නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, හිඟ බදු මුදල්වලින් කොටසක් මේ වනවිටත් ගෙවා ඇති බවයි.
නමුත් සමාගමේ දේපළ තහනමට ගෙන ඒවා බැංකුවලට සින්න වී ඇති නිසා, බදු මුදල් ගෙවූ ලේඛන සොයා ගැනීමට මෙතෙක් නොහැකි වී ඇති බව ඔහු සඳහන් කළා.
කෙසේ වෙතත්, දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා ඊට දැඩි ලෙස විරෝධය පළ කළා.
ඔහු කියා සිටියේ බදු මුදල් ගෙවා තිබේ නම් ඊට අදාළ ලියකියවිලි අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවත්, ලියකියවිලි සොයා ගැනීමට නොහැකි බව පැවසීම නිදහසට කරුණක් නොවන බවයි.
බදු ගෙවිය යුතු කාලය බොහෝ සෙයින් ඉක්මවා ගොස් ඇති නිසා විත්තිකරුවන්ට තවදුරටත් සහන දිය නොහැකි බවයි ඔහු අවධාරණය කළේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්රාත්වරයා, බදු මුදල් ගෙවීමේ කාලය දැනටමත් ඉක්මවා ගොස් ඇති බව පෙන්වා දුන්නා.
ඒ අනුව, අදාළ බදු මුදල් වහාම ගෙවා අවසන් කරන ලෙස විත්තිකරුවන්ට නියෝග කළ මහේස්ත්රාත්වරයා, මෙම බදු මුදල් ප්රමාදයකින් තොරව ගෙවන්නේද නැද්ද යන්න පිළිබඳව ඉදිරි නඩු දිනයේදී ස්ථිරවම ප්රකාශ කළ යුතු බවටත් නියම කළා.
නඩුව නැවත කැඳවීම ලබන සැප්තැම්බර් මස 30 වනදාට කල් තැබුණා.




