2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා මාර්ගගත ක්‍රමය මගින් අයදුම්පත් කැඳවීම අද සිට ආරම්භ වනවා.

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවේ අද සිට ජුලි මස 21 වනදා දක්වා මාර්ගගත ක්‍රමය මගින් අයදුම්පත් කැඳවීම සිදු කරන බවයි.

ඒ අනුව සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින්ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවද අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වනවා.

පෞද්ගලික අයදුම්කරුවන් මෙම විභාගය සඳහා අයදුම් කිරීමට තම ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කළ යුතු බවයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ.

ඊට අදාළ උපදෙස් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ දක්වා ඇති බවද එම නිවේදනයේ දැක්වෙනවා.

2025 ජුලි මස 21 වන දින මධ්‍යම රාත්‍රී 12න් පසු අයදුම්පත් ඉදිරිපත් කළ නොහැකි අතර කිසිදු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන්.

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එළඹෙන නොවැම්බර් මස 10 වනදා සිට දෙසාම්බර් මස 05 වනද දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.